ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි



ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය.

සෝනියා, රාහුල් සහ ප්‍රියංකා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා පවත්වා ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් ද පැවැත්වීය. ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වූයේ ඒ අනුවය.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්, උත්තරකාන්ද්, පන්ජාබ්, මනිපූර් සහ ගෝව යන ප්‍රාන්ත මැතිවරණ පසුගිය දා පැවැත්විණි. උත්තර ප්‍රදේශ් යනු ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය මෙහෙයවීම කළේ රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා එක් වෙමිනි. කෙසේ නමුත්, ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමත් විය. ඒ, බහුතර බලයක් ද සමඟිනි.

පන්ජාබයේ බලය පැවැතියේ කොංග්‍රස් පක්ෂය සතුව වුවත්, මෙවර මැතිවරණයේ දී කොංග්‍රසය පරාජයට පත් වූ අතර, ඉන්දියාවේ දූෂණ විරෝධී දේශපාලන බලවේගය ලෙස සැලකෙන ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂය පන්ජාබ මැතිවරණය ජයග්‍රහණය කළේය.

පන්ජාබයේ මැතිවරණ කටයුතු සඳහා නායකත්වය දුන්නේ රාහුල් ගාන්ධිය. ඊට අමතරව ගෝව, මනිපූර් සහ උත්තරකාන්ද් මැතිවරණ ජයග්‍රහණය කිරීමට ද කොංග්‍රස් පක්ෂය සමත් වූයේ නැත.

2014 වසරේ පටන් දිනෙන් දින කොංග්‍රස් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී මැතිවරණ පරාජය වෙමින් සිටින බැවින්, ගාන්ධි පවුලට සම්බන්ධ නොවන නායකත්වයක් පක්ෂයේ පැවැත්ම සඳහා අවශ්‍ය  යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS