ඉරාන - ශ්‍රී ලංකා නායක හමුවක් තායිලන්තයේදී



දීර්ඝකාලීන ඉතිහාසයකට හිමිකම් කියන ඉරාන – ශී‍්‍ර ලංකා සබඳතා ජාත්‍යන්තර තලයේදී වඩාත් ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ ප‍්‍රතිඥා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි
තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රෝහානි මැතිතුමා අතර හමුවක් අද (10) දහවල් බැංකොක් නුවරදී පැවැත්විණි.

දෙරටේ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට මෙම හමුව මහත් ශක්තියත් බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා නුදුරු දිනකදීම ඉරානයේ සංචාරයක නිරත වන ලෙසද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ආරාධනා කළ බව ජනාධිපති මාධය අංශය සදහන් කරයි.

ඉරානය ශී‍්‍ර ලංකාවට තෙල් ලබාදීම තුළින් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට මනා දායකත්වයක් සපයන අතර ඉදිරියේදී එම කටයුතු වඩා ක‍්‍රමවත් කරන බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආනයන, අපනයන කටයුතුවලට ද නව ප‍්‍රවේශයක් ලබාදෙන බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ ඉරානයේ සහ ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ දෙරටම මනා අවබෝධයකින් කටයුතු කරන බවයි.
ශ‍්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරාන රජය ලබාදෙන ආධාර පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ආනයන, අපනයන කටයුතුවලදී මෙන්ම සංවර්ධන ක්ෂේත‍්‍රයේදී ද ඉරානය සහ ශී‍්‍ර ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බව පැවසීය.



ආසියානු සහයෝගීතා සංවාඳ සමුළුව සමග ශී‍්‍ර ලංකාව සහ ඉරානය අතර ඇති ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා මෙම සමුළුව තම රටවල් දෙකට මෙන්ම ආසියානු කලාපයේ සියලු රටවලට ඉතා වැදගත් බව කියා සිටියේය.

එමෙන්ම යුද ජයග‍්‍රහණයෙන් පසු ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ඉරාන ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS