ඉරාන - වියට්නාම ද්වීපාර්ශ්වික සබඳතා තර වෙයි

වියට්නාමයේ නිල සංචාරයක යෙදෙන ඉරාන ජනපති හසන් රොව්හානී පවසා ඇත්තේ වියට්නාමය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට තමන් ඇතුළු තම නියෝජිත කණ්ඩායම සමත් වුණු බවය.
වියට්නාමයට පැමිණි ඉරාන රාජ්‍ය නායකයාට හිමි වූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. හැනොයි අගනුවරදී ඉරාන ජනපතිවරයා සහ වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ග්වෙන් පූ තොං අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.
ඉරානය යළි ලෝකයට විවර වූයේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක නායකයන් සමඟ පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසුවය. ඒ අනුව, ඉරානයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ද ඉවත් කිරීමට ඇමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් කටයුතු කළේය.
ආසියානු කලාපයට අයත් වියට්නාමය සමඟ වෙළෙඳ සහ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම ඉරාන ජනපති ඇතුළු නියෝජිත කණ්ඩායමේ අරමුණ වූ බවත්, එය සාර්ථක වූ බවත් ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ. ඊට අමතරව, විද්‍යා සහ සංස්කෘතිය යන අංශවලින් ද දෙරට අතර සබඳතා තර වුණු බව ද වාර්තා වේ.
සම්බාධක පනවා තිබුණත් ඉරානයත් වියට්නාමයත් අතර මිතුදම් පවතින්නේ වසර ගණනාවක සිටය. ඉරාන ජනපතිවරයා වියට්නාමයේ පැවැත් වීමට නියමිත ‘ඉරාන වියට්නාම’ මිත්‍රත්ව සමුළුවේ 9 වැනි සැසිවාරයට ද සහභාගී වනු ඇතැයි ද වාර්තා වේ.

