ඉරානයේ මත් ජාවාරමට හසුවී මරණ දඬුවම නියම වූ පිරිස අඩු කරනවාට විරෝධය

මත්ද්‍රව්‍ය ජාවාරමට වැරැදිකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින පිරිස අඩු කිරීම සඳහා වන පනත් කෙටුම්පතකට ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150කට වැඩි පිරිසක් අත්සන් තබා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙන බව ද එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටක් ලෙසත්, වැඩිම ප්‍රමාණයක් මරණයට පත් කරන රටක් ලෙසත් ඉරානය ප්‍රසිද්ධය. සිය රටේ ජනතාවටම එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක රටවල් අතර ඉරානය ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව චීනය, සෞදි අරාබිය සහ පාකිස්තානය යන රටවල් සමඟ ඉරානය ද සිටින අතර පසුගිය වසරේදී පමණක් ඉරානය පුද්ගලයන් 977 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතරින් ඉදිරියෙන් සිටින්නේ චීනයයි. ඔවුන් කොතරම් පිරිසකට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාද යන්න ලොවට රහසකි. ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ඉකුත් 3 වැනිදා පිටු 19ක වාර්තාවක් ද ප්‍රසිද්ධියක් පත් කළ අතර ඉරානයේ ක්‍රියාකලාපය ඔහුගේ දෝෂදර්ශනයට ද ලක්විය.
ඉරනායේ මරණ දඬුවමට හසු වූ වැඩිදෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධවලට සම්බන්ධ වූවන් යැයි වාර්තා වේ. වසර 2013 ක්‍රියාත්මක වූ මරණ දඬුවමට ලක්වූවන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත වූවන්ය.
මරණ දඬුවම ක්‍රියාත්මක වීමෙන් ඉරානයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අඩු වී නැතැයි පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරු පෙන්වා දී ඇත. මරණ දඬුවමට ලක් වූ බොහෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රාථමික වැරැදි, මුල්වරට වැරැදිකරුවන් වූ අය යැයි ද ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේන ඔවුන්ගේ පවුල් ද විනාශ වන බව පනත් කෙටුම්පතට අත්සන් තැබූ ඉරාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ජලීල් රහිමි පවසා ඇත.

