ඉම්රාන් හිඟාකමින් ලෝකය වටේ යනවා

පාකිස්තානය මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින්, අගමැති ඉම්රාන් ඛාන් මුදල් හිඟාකමින් ලෝකය වටේ යනවා යැයි සින්ද් පළාතේ මහ ඇමැති මුරාද් අලී ෂා චෝදනා කරයි.
මහ ඇමැති මුරාද් අලී ෂා යනු පාකිස්තානයේ විපක්ෂ සන්ධානය යන ජනතා පක්ෂයේ සාමාජිකයෙකි. මුරාද් අලී ෂා මෙසේ අදහස් දක්වා ඇත්තේ මට්ලි නුවර පැවැති ජන රැළියක් අමතමිණි. අගමැති ඉම්රාන් ඛාන්ගේ මෙම ක්‍රියා කලාපය, පාකිස්තානයට නිගරුවක් යැයි මහ ඇමැති මුරාද් අලී ෂා වැඩි දුරටත් පවසා ඇත.
ආර්ථික අර්බුද රැසකට මුහුණ පා සිටින පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 6.2 ක සහන ආධාර පැකේජයක් ලබා දීමට තමන් සූදානම් යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පසුගිය දා නිවේදනය කළේය.
එම ආධාරවලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 3.2 ක් තෙල් සැපැයුම් වන අතර, ඉතිරි ඩොලර් බිලියන 3 මුදල් බව ද වාර්තා වේ. මේ බව නිවේදනය කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාම් විසිනි.
මෙම සහන පැකේජය ලබා ගැනීම වෙනුවෙන් සියලු සාකච්ඡා සාර්ථකව පැවැත් වුණු බව, එමගින් පාකිස්තානය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර සුහඳත්වය තවත් වර්ධනය වූ බවත් පාකිස්තාන රජය පෙන්වා දෙයි. පාකිස්තානයට මේ අයුරින් සෞදි අරාබියෙන් ද සහන පැකේජයක් හිමිවී ඇති බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

