ඉම්රාන් විදෙස් නායකයන් අමතයි

ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, ඉන්දියාවට දැඩි විරෝධය පළ කරන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එම අර්බුදය සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය නායනයන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
ඉන්දු කාශ්මීරයේ වැසියන්ට විශාල අසාධාරණයක් සිදුවුණු බවත්, පාකිස්තානය හැකි අයුරින් කාශ්මීර වැසියන්ට සහාය දැක්වීමට උත්සාහ ගන්නා බවත් ඉම්රාන් ඛාන් පවසා ඇත. කාශ්මීරය ඉන්දීය පාලනයට නතු කාශ්මීරය සහ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරය ලෙස කොටස් දෙකකි.
පාකිස්තාන ආරක්ෂක කවුන්සිලය හමුවීමෙන් පසු අගමැති ඉම්රාන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල නායකයන්ට ඇමතුම් ලබා දුන් බව ද වාර්තාවේ.
මීට සති කීපයකට පෙර පාකිස්තාන අගමැති ඉම්රාන් ඇමෙරිකාවේ සංචාරයක නියැලුණේය. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය.
එහිදී කාශ්මීර අර්බුදය ගැන සාකච්ඡා පැවැත්විණි. ඉම්රාන් ඛාන් ඇමෙරිකා ජනාධිපති හමුවේ පෙන්වා දුන්නේ කාශ්මීර අර්බුදය විසඳීමට නම් තෙවැනි පාර්ශ්වයක් ලෙස ජාත්‍යන්තරයේ ද මැදිහත්වීම අවශ්‍ය බවය.
පාකිස්තාන අගමැතිවරයා කළ එම ප්‍රකාශය ඉන්දියාවේ දැඩි දෝෂදර්ශණයට හේතුවක් වූ අතර, ඉන්දියාව තරයේ ඇමෙරිකාවට පවසා ඇත්තේ කාශ්මීර අර්බුදය ඉන්දියාවේ අභ්‍යන්තර ගැටලුවක් බවත්, විදෙස් පාර්ශ්වයක් ඊට මැදිහත් නොවිය යුතු බවත්ය.
(රොයිටර්ස්)

