ඉන්දු කාශ්මීරයේ ආරක්ෂාව ගැන බියක්



පාකිස්තාන රජයේත්, හමුදාවේත් සහාය හිමිවෙනවා යැයි පැවැසෙන ඉස්ලාමීය බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව ඉන්දු කාශ්මීර බලධාරීන් අනතුරු අඟවා ඇත.

බලධාරීන් කළ මෙම අනතුරු ඇඟවීමත් සමඟ ඉන්දු කාශ්මීරයට පැමිණ සිටි සහ පැමිණෙමින් සිටි හින්දු බැතිමතුන්, සංචාරකයන් පමණක් නොව, ඉන්දු කාශ්මීරයේ පාකිස්තාන දේශසීමාවට නුදුරින් ගම්මානවල ඉන්දීය වැසියන් පවා දස දහස් ගණනින් ඔවුන්ගේ ගම්බිම් අත්හැර ආරක්ෂක ස්ථාන වෙත ගිය බව වාර්තා විය.

ශුද්ධ වූ ‘අම්රාත් ලෙන’ වන්දනාමාන සමය මේ වනවිට ආරම්භ වී ඇති අතර, ඉන්දියාවේ නන්දෙසින් හින්දු බැතිමත්හු ඒ සඳහා දකුණුදිග කාශ්මීරයට පැමිණෙති. සෑම වසරකම, දින 45 ක් ‘අම්රාත් ලෙන’ වන්දනාමාන කිරීමට හින්දු බැතිමතුන් ලක්ෂ ගණනින් දකුණු කාශ්මීරයට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

කාශ්මීර බලධාරීන් අනතුරු ඇඟවීම් කළේ, ඔවුන්ට ආරක්ෂක අංශ ලබා දුන් තොරතුරු පාදක කර ගනිමිනි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ, හින්දු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවය.

ඒ අනුව, 20,000 කට වැඩි හින්දු බැතිමතුන් පිරිසක් සහ කම්කරුවන් ඇතුළු ඉන්දීය වැසියන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉන්දු කාශ්මීර ප්‍රදේශය හැර ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා නිකුත් කළ වාර්තාවක සඳහන් විය.

ඉන්දීය ආරක්ෂක අංශ කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, ඉන්දු කාශ්මීර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ජර්මනිය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත. ‘කාශ්මීර නිම්නයේ සහ අමර්නාත් යාත්‍රා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ ගමන් නොකරන්නැයි ජර්මන් විදේශ අමත්‍යාංශය කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS