ඉන්දීය සංක්රමණිකයෝ දුම්රියකට බිලි
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඕරන්ගාබාද් නුවර, දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි සංක්‍රමණික සේවකයන් 16 දෙනකු දුම්රියකට යටවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තවත් සිවු දෙනෙක් තුවාල ලැබූහ.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පනවා ඇති ලොක්ඩවුන් තහංචි හේතුවෙන් මෙම පිරිස කිලෝ මීටර් 157 ක දුරක් ගෙවා ජලන් සිට බුසාවල් නගරය තෙක් දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිට ඇත.
රාත්‍රියේ දුම්රිය මාර්ගයේ නිදා සිටිද්දී දුම්රියට පිරිස යටවී ඇත. තුවාල ලැබූ සිවුදෙනා කඩිනමින් රෝහල්ගත කෙරුණු බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත.
ලොක්ඩවුන් තහංචි ප්‍රාන්ත මට්ටමින් කෙමෙන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම සේවකයන් එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට පයින් ගමන් කර ඇත්තේ රැකියා සොයමිනි.
දුම්රියේ රියැදුරු පවසා ඇත්තේ පිරිස දුම්රිය මාර්ගයේ නිදා සිටිනු තමන් දකිද්දී දුම්රිය නවතා ගැනීමට අපහසු වුණු බවය. මියගිය පිරිස අතර කාන්තාවෝ කිහිප දෙනෙක් ද සිටිති.
නවදිල්ලියේදීය (රොයිටර්)

