ඉන්දීය විදේශ ඇමැති පාකිස්තාන සංචාරයක



ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඉන්දීය විදේශ අමාත්‍යවරයකු පාකිස්තානය බලා යනු ඇත්තේ, වසර 9 කට පසුවය. මීට පෙර 2015 දී පාකිස්තානයට ගියේ, ඉන්දීය විදේශ අමාත්‍යවරිවය ලෙස කටයුතු කළ සුෂ්මා ස්වරාජ්ය.

එස්. ජයිශංකර්, පාකිස්තානයට යන්නේ, චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගීවීම සඳහාය. සමුළුව පැවැත්වෙන්නේ ලබන 15 සහ 16 වැනිදා ඉස්ලාමාබාද් අගනුවරදීය.

ෂැංග්හායි සහයෝගීතා සමුළුව පැවැත්වෙන්නේ ෂැංග්හායි සහයෝගීතා හවුලට අයත් රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. ඉන්දියාවත්, පාකිස්තානයත් මෙම හවුලට අයත් රටවල්ය. ෂැංග්හායි සහයෝගීතා සමුළුවේ සත්කාරකරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, සමුළුවට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවටය.ඉන්දීය විදේශ ඇමැතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සූදානමින් සිටින බව පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර විරසකයට ප්‍රධානතම හේතුව දෙරටේ දේශසීමාවය. ඉන්දියාවට පහර දීමට පාකිස්තානය ඉස්ලාමීය අන්තවාදීන් පුහුණු කරන බවට ද ඉන්දියාව නිරන්තරයෙන් චෝදනා එල්ල කරයි.

පසුගිය මහ මැතිවරණයෙන් යළිත් වරක් ජනවරමක් හිමි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ කලාපීය අසල්වැසියන් සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නා බවය. එහෙයින්, ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර්ගේ මෙම පාකිස්තාන සංචාරය ඉතා වැදගත් වන බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


RECOMMEND POSTS