ඉන්දීය නියෝජිතයෝ තලේබාන් හමුවෙති



ඉන්දීය රජයේ සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්විණි.  ඉන්දීය රජයේ නියෝජිතයන් සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

හමුව පැවැත්වූයේ රුසියාවේ මොස්කව් නුවරදීය. තලේබාන් ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් රජය අතර වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවමින් පවතින අර්බුදයට ‘සාමකාමී’ සහ ‘රාජ්‍යතාන්ත්‍රික’ විසඳුමක් සොයා දීම රුසියාවේ අරමුණ වී ඇත.

ඒ අනුව, මොස්කව් නුවරදී සාම සමුළුව පැවැත්විණි. ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ පමණක් නොව, ඇෆ්ගන් රජයේ නියෝජිතයන්, ඉන්දීයාව, පාකිස්තානය සහ චීනය නියෝජනය කරමින් නියෝජිතයෝ සමුළුවට සහභාගී වූහ.

ඇෆ්ගනිස්තානයේ ඉන්දීය තානාපති ලෙස කටයුතු කළ අමාර් ෂා සහ පාකිස්තානයේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ටී.සී.ඒ. රගග්හවාන් ඉන්දීය නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන් බව පැවැසිණි. සාකච්ඡා පැවැත්වූවේ ‘නිල නොවන මට්ටමින්’ යැයි ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබුණි.

තාල්බාන් සංවිධානය කොටස් දෙකකි. ඒ, ඇෆ්ගන් තලේබාන් සහ පාකිස්තාන තලේබාන් වශයෙනි. මොවුන් දෙකඩ වී සිටින්නේ මත ගැටුම් හේතුවෙනි. ඇෆ්ගන් තලේබාන් සංවිධානය අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය සමඟ එක් වී ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි.

ඇෆ්ගන් රජය පමණක් නොව, ඇමෙරිකාව ද එක් වී ඇෆ්ගන් තලෙබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ නමුත් එම උත්සාහය සාර්ථක නොවිණි. සාම සාකච්ඡා පැවැත්වීමට රුසියාව මැදිහත් වී සිටින්නේ එහෙයිනි. ඊට තලේබාන් සංවිධානයේ ද කැමැත්ත හිමිවී ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS