ඉන්දීය ජනාධිපතිවරණය



ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්විණි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ද්‍රෞපදී මුර්මු සහ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් යෂ්වාත් සිං ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දීය දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියකි. ඇය භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවකි. ද්‍රෞපදී මුර්මු ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුසු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය හෙබවූයේ ද මුර්මු ය. ඇය ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන නායිකාවකි. මුර්මු ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත් වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව වන්නේ ඇයයි.

84 හැවිරිදි යෂ්වාන් සිංහා නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. සිංහා, භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. 1990 සිට 1991 වසර තෙක් කාලයේත් 1998 සිට 2002 ජූලි මාසය දක්වාත් සිංහා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ අග්‍රාමාත්‍ය චන්ද්‍ර ෂෙකර් සහ අතල් බිහාරි වජ්පායි අග්‍රාමාත්‍යවරුන් යටතේය. 2002 සිට 2004 තෙක් කාලයේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ ද යෂ්වාන් සිංහා ය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

අද (18) පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එලැඹෙන 21 වැනිදා සිදුවනු ඇත.

අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ඇතත්, ඉන්දීය ජනාධිපතිවරයා යනු ඉන්දීය ජනරජයේ රාජ්‍ය නායකයා ය. ජනාධිපතිවරයා, ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. ඊට අමතරව, ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා ද වන්නේ ජනාධිපතිවරයාය. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකහි (ලෝක් සභාව සහ රාජ් සභාව) මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් මගිනි.
ඉන්දීය ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ එම ඡන්ද පීඨයට ඇතුළත් වෙති. අද (18) ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපති ධුරයේ සිටි රාම් නාත් කෝවින්ද්ගේ ධුර කාලය අවසන් වුණු බැවිනි.

ඉන්දියාවේ උප ජනාධිපති ධුරය වෙනුවෙන් ද පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙයි. ඒ එලැඹෙන අගෝස්තු මාසයේය. මෙවර උප ජනාධිපති ධුරය සඳහා පාලක පක්ෂ සන්ධානයෙන් ජග්දීප් දන්කාර් සහ විපක්ෂ සන්ධානයෙන් මාග්‍රට් අල්වා ඉදිරිපත් වීමට නියමිතය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS