ඉන්දියාව සුපිරි බලවතුන්ගෙන් කෙනෙක්



ඉන්දියාව ලොව ඉහළම තාක්ෂණය සහිත අභ්‍යාවකාශ සුපිරි බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. 

මිසයිලයක් යවමින් පහළ කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක් බිම හෙළීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. සාමාන්‍යයෙන් චන්ද්‍රිකා රඳවා තබනුයේ පෘථිවියේ ඉහළ කක්ෂයේය. චනද්‍රිකාවක් පහළ කක්ෂයට පැමිණි පසු ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවියට ඇදී ඒමට හැකි අතර එයින් මහත් විනාශයක් සිදුවීමේ අවදානමක් ද ඇත.  

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජාතිය ඇමතීම දුලබ සිදුවීමක් යැයි විදෙස් මාධ්‍ය මෙන්ම ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර තිබිණි. ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය යන සුපිරි බලවතුන් අතරට එක්වූ බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය. 

නැගෙනහිර ඉන්දියාවේ ඔඩීෂා හි පිහිටි පරීක්ෂණ මධ්‍යස්ථානයක සිට මිසයිලය දියත් කරන ලදි. කිලෝමීටර 300ක දුරින් පිහිටි සජීවි චන්ද්‍රිකාව බිම හෙළීම මෙහෙයුම ඉතා දුෂ්කර එකක් වූ බවත් එම මෙහෙයුම විනාඩි තුනක කාලයකින් අවසන් වූ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය. 

“මෙය ඉන්දියාවට සුවිශේෂී සහ ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඉන්දියාව අභ්‍යවකාශ සුපිරි බලවතුන් අතරට තමන්ගේ නමත් ඇතුළත් කිරීමට සමත් වුණා. මෙම සමත්කම දක්වා ඇත්තේ රටවල් කිහිපයක් පමණයි” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරෙන් පසු රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙය විය. 

“මම ලෝක ප්‍රජාවට කියන්න ඕනේ. අපි කාටවත් එරෙහිව මේ මිසයිලය දියත් කළේ නැහැ. වේගයෙන් වර්ධනය වන ඉන්දියාව ආරක්ෂා කරගන්නැයි අපිට ඕනේ. චන්ද්‍රිකාව බිම හෙළීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වුණා. අපිට යුද්ධයක් ඇති කරන්න අවශ්‍ය නැහැ” යැයි මෝදි කීවේය. 

මිසයිල අත්හදා බැලීමක් මගින් ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව 1985 දී චන්ද්‍රි බිම හෙළීමට සමත් වූ අතර චීනය 2007 වසරේදී මිසයිල අත්හදා බැලීමක් මගින් චන්ද්‍රිකාවක් බිම හෙළීය. 

මෙම රටවල් සියල්ලම මේ වනවිට ලේසර් කිරණ භාවිතයෙන් චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා කටයුතු කරමින් සිටී. 

නවදිල්ලිහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS