ඉන්දියාවේ හිතරිද්දන්නේ නෑ



ඉන්දියාවට ප්‍රමුඛත්වයක් දෙමින්, ඉන්දියාව සමීප මිතුරකු ලෙස සලකා, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට පැමිණි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු අවධාරණය කළේය.

ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුණින්, මාලදිවයින ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි. මාලදිවයින ජනාධිපතිවරයාගේ බිරිඳ සජීදා ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.

මාලදිවයින ජනාධිපති මුයිසු සහ බිරිඳ රාජ්‍ය ගෞරව සහිතව උණුසුම් ලෙස පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීට ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු කටයුතු කළහ. ඒ, මාලදිවයින ජනාධිපති මුයිසු සහ බිරිඳ සජීදා, රාෂ්ට්‍රපතිභවන් මන්දිරයට පැමිණි අවස්ථාවේදීය.

මුයිසු, මාලදිවයින ජනාධිපති ධුරයට පත් වූයේ 2023 නොවැම්බර් මාසයේදීය. මුයිසු, දැඩි චීන හිතවාදියෙකි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ, මුයිසුගේ ප්‍රතිපත්තිය වූයේ මාලදිවයිනෙන් ඉන්දියාව පිටවී යා යුතුයි යන්නය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මුයිසු, මාලදිවයිනේ රැඳී සිටි ඉන්දීය සොල්දාදුවන් 90 දෙනාට පැවැසුවේ ආපසු ඉන්දියාවට යන ලෙසය. මෙය ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක් විය.

ඊට අමතරව, මුයිසු නව ජනාධිපති ලෙස චීනයේ සංචාරයකට ගියේය මෙය ඉන්දියාවේ අප්‍රසාදයට හේතුවක් විය. මුයිසුගේ රජයේ අමාත්‍යවරුන් අවස්ථා කීපයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස විවේචනය කළේය. ඒ සමඟ ඉන්දියාවත්, මාලදිවයිනත් අතරේ හිත් අමනාපකම් වර්ධනය විය.

 කෙසේ නමුත්, මාලදිවයින විපක්ෂ කණ්ඩායම්වලින් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර, ඉන්දියාව කිසිම අවස්ථාවක අමනාප කර නොගන්නැයි ජනාධිපති මුයිසුට බලපෑම් එල්ල කෙරුණි. මුයිසු, මෙම ඉන්දීය සංචාරයට එක්වූයේ එම බලපෑම් නිසා යැයි ද දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

‘මාලදිවයින සහ ඉන්දියාව අසල්වැසියන්. මාලදිවයිනට ඉන්දියාව ඕනෑ. එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාට තර්ජනයක් නොවී ශක්තිමත් මිතුදම් පවත්වා ගැනීම කළ යුතුයි. මගේ ඉන්දීය සංචාරයේ අරමුණ වන්නේ මෙයයි. ඉන්දියාව් හිත රිදෙන ආකාරයේ කිසිදු ක්‍රියාවකට මාලදිවයින සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ගැන මා සහිතක වෙනවා’ යැයි නවදිල්ලියට පැමිණි මාලදිවයින ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අද මාලදිවයින දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටී. ඉන්දීය සංචාරකයන් මාලදිවයිනට පැමිණීම අඩු වී ගොස් ඇත. මාලදිවයිනේ විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකන් ඩොලර් 440 ක් දක්වා අඩු වී ඇත. මේ සියලු කාරණා සලකා බලා, තම ප්‍රතිපත්ති වෙනස් කරමින්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ජනාධිපති මුයිසු තීරණය කර ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දීය සංචාරය සඳහා පිටත් වී යෑමට පෙර, ජනාධිපති මුයිසු, බීබීසී පුවත් සේවය හමුවේ අවධාරණය කළේ, ඉන්දියාව මාලදිවයිනේ මූල්‍ය ගැටලු හොඳින් අවබෝධ කරගෙන සිටින බවත්, මාලදිවයිනට ඉන්දීය සහාය අවශ්‍ය බවත්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS