ඉන්දියාවේ පහසුකම් නෑ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීමට ඉන්දියාවේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කෝවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වුණු අවස්ථාවේ සිට වයිරස ව්‍යාප්තිය පාලනයට රටරටවල් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විමසා බලයි. ඉන්දියාවේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව හඳුනා ගෙන ඇත්තේ ඒ අනුවය.

වයිරස ආසාදනය වී තිබෙනවා ද නැද්ද යන්න සෙවීමට සෙම පටල සහ රුධිරය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති බවත්, ප්‍රමාණවත් මුහුණු ආවරණ ඉන්දියානු වැසියන්ට නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මේ වනවිට ඉන්දියාවෙන් හමුවී ඇති කෝවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 150 ඉක්මවා ඇත. විදේශගත ඉන්දියානුවන් 276 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවැසෙයි. වයිරස ආසාදිතයන් හඳුනා ගැනීම ගැටලුසහගත වී ඇති බැවින්, ඉන්දියාව තුළ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මීට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS