ඉන්දියාවේ කොරෝනා මිලියන 8 පසු කරයි



ඉන්දියාවේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට මිලියන 8 පසු කර තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරන්නේ, එලැඹෙන දීපාවලී සැණකිලි සමයේ දී ඉන්දියානුවන් ප්‍රවේසම් නොවුණහොත් වයිරසයේ දෙවැනි රැල්ලක් ද හට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

ලොව දෙවැනි විශාලතම ජනගහනය ඇති රට ඉන්දියාව වන අතර, ඉන්දියාවේ ජනගනය බිලියන 1.3 කි. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 8,040,203 කි. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් අතින් ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවටය. ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන මිලියන 8.9 ක් ලෙස වාර්තා වෙයි.

කෙසේ නමුත් පසුගිය සැප්තැම්බර් අවසානයේ සිට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන යම් තරමකට අඩු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. සෞඛ්‍ය බලධාරීන් අද (30) නිවේදනය කළේ ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 49,881 ක් කියාය. ‍ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,20,527 කි. දෛනික ආසාදතියන් අඩුවීමට පටන් ගත් බැවින් එය කොවිඩ් 19 පළමු රැල්ල ලෙස සෞඛ්‍ය බලධාරීන් අර්ථ ගන්වා ඇත.

හින්දු බැතිමතුන් දීපවාලී දිනය සැමරීම සිදු කරනු ලබන්නේ නොවැම්බර් 14 වැනිදාය. හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික සැණකෙළියක් ලෙස දීපවාලී වෙනුවෙන් දින ගණනක් සැණකෙළි පැවැත්වීම ඉන්දියාවේ සම්ප්‍රදායයයි. ලක්ෂ ගණනක් හින්දු බැතිමතුන් මෙම සැණකෙළිවලට එක් වෙති. වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සැණකෙළි පැවැත්වීම අවම කරන්නැයි ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත රජයයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවේ කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර යන්නේ තමිල්නාඩු, මහාරාෂ්ට්‍ර, දිල්ලි ආදී ප්‍රාන්තවලය. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වයිරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර තිබෙන අතර සෞඛ්‍ය නීතී අනුව, දෛනික කටයුතු ආරම්භ කර තිබේ.

මිලියන 22 ක පිරිසක් ජීවත් වන බිහාරයේ වයිරස ආසාදිතයන් අඩුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රාන්ත මහ මැතිවරණය ද අදියර කීපයක් යටතේ ඇරැඹිණි. ඉන්දියාවේ තෙවැනියට වැඩිම ජනගහනයක් ඇති ප්‍රාන්තය වන්නේ නේපාලයට සමීපව පිහිටා ඇති බිහාරයයි.

ඉන්දියාවේ වයිරස ව්‍යාප්තිය ආරම්භ වෙද්දී ලෝකයේ සෙසු රටවල් මෙන්ම ඉන්දියාව ද මුළුමනින්ම අඟුලු දැමුණි. එය ඉන්දීය ආර්ථිකය මුළුමනින්ම අඩපණ කිරීමට හේතුවක් වූ නමුත්, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට සමත් වූයේ නැත. ඒ, රට අගුලු දැමීමත් සමඟ, අසරණ තත්ත්වයකට පත්වුණු ඉන්දියාවේ සිටින සංක්‍රමණික සේවකයන් හේතුවෙන් ඉන්දියාව පුරා වයිරස ව්‍යාප්තියක් සිදුවීමය.

ඉන්දියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවරය. මුම්බායි නුවරින් වාර්තා වන ආසාදිතයන් ගණන 2,50,000 පසු කර ඇති අතර මරණ සංඛ්‍යාව 10,000 පසු කර තිබේ. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 5,000 පසු කළේය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS