ඉන්දියාවෙන් පළමු වරට වඳුරු උණ මරණයක්



‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තරුණයා ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) ආසාදිතයකු බව තහවුරු වුවහොත්, ඉන්දියාවෙන් වාර්තා වන පළමු ‘වඳුරු උණ’ මරණය මෙය වනු ඇත.

තරුණයාගේ මරණය සැලවුණු සැණින්, කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනී වීනා ජෝර්ජ් මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් වහා සිදු කරන්නැයි උපදෙස් දුන්නාය. ඒ අනුව, මියගිය තරුණයාගේ පටක සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

මෙම තරුණයා ඩුබායි සිට කේරළයට බලා පැමිණි අයකු වන අතර, ඔහුට ‘වඳුරු උණ’ ආසාදනය වූයේ නම් එය සිදුවන්න ඇත්තේ ඩුබායි සිට පැමිණෙන අතරතුරේ බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. ඉන්දියාවෙන් මේ දක්වා ‘වඳුරු උණ’ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි.

‘වඳුරු උණ කියන්නේ මාරන වයිරසයක් නොවෙයි. එය මාරක වන්නේ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ටයි. එසේ වන්නේ වයිරසය හේතුවෙන් හටගන්නා සංකූලතා නිසයි.’ යැයි ද සෞඛ්‍ය ඇමැතිනිය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ අප්‍රිකාවට පමණක් සීමා වූ ඉතා වේගයෙන් බෝ වන වයිරසයකි. මෙය පැපොල සහ වසූරිය අතරමැද තත්ත්වයක් වන අතර වසූරිය සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ‘වඳුරු උණ’ අඩපණ කළ හැකිය.

‘වඳුරු උණ’ වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින් මේ වනවිට රටවල් 78 කට ව්‍යාප්ත වී ඇති අතර ආසාදිතයන් 18,000 කට වැඩියෙන් වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ නිව්යෝක් යන නගර ද ‘වඳුරු උණ’ හේතුවෙන් හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබේ.

අප්‍රිකාවෙන් පිට ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් ‘වඳුරු උණ’ මරණ ද වාර්තා වෙයි. ඒ, ස්පාඤ්ඤයෙන් මරණ දෙකක් සහ බ්‍රසීලයෙන් එක් මරණයක් ආදී වශයෙනි. ඉන්දීය තරුණයාගේ මරණයට හේතුව ‘වඳුරු උණ’ යැයි තහවුරු වුවහොත්, අප්‍රිකාවෙන් පිට සමස්ත ‘වඳුරු උණ’ මරණ ගණන 4 තෙක් ඉහළ යනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS