ඇෆ්ගන් භූමිකම්පාවෙන් මියගිය ගණන 30 ක්

උතුරුදිග ඇෆ්ගනිස්තානය, රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලඹිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවෙන් 30 දෙනකු මියගිය බවත්, 260 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.
තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනකුගේ තත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
භූමිකම්පාවෙන් දරුණු හානි සිදුවූයේ බලාක් සහ සමන්ගාන් යන පළාත්වලටය. උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නගරයට ද දැඩි හානි සිදුවී ඇතැයි පැවැසෙයි. මෙම නගරයේ ජනගහනය 5,23,000 ක් යැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 28 ක් පොළොව අභ්‍යන්තරයෙන් වාර්තා වූ බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම සුලබය. භූමිකම්පාවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි සිය ගණනකට හානිවුණු බවත් ඇතැම් නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී ඇති බවත් වාර්තා වේ.
2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, එරට බලය අල්ලාගෙන සිටින්නේ තලේබාන්වරුන්ය. තලේබාන්වරුන් ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.
භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ෂරියා නීතිය හේතුවෙන්, පළමුවෙන් ප්‍රතිකාර ලබා දීම සිදුවූයේ පිරිමින්ට බවත් පැවැසෙයි.
තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය හේතුවෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ටෛට සම්බාධක පැනැවීම් කර ඇති අතර, එම සම්බාධක හේතුවෙන් ඇෆ්ගනිස්තානය ලොවෙන් හුදෙකලා වී ඇත. ඇෆ්ගන් තලේබාන්වරුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබඳතා පවත්වන්නේ ඉන්දියාව සහ රුසියාව සමඟය.
භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර අවශ්‍ය යැයි තලේබාන් රජය විදේශවලින් ඉල්ලා ඇති නමුත් මෙතෙක් කිසිදු රටක් ඊට ප්‍රතිචාර දක්වා නැත.

