ඇෆ්ගන් පාකිස්තාන සතියක සටන් විරාමයක්



ඇෆ්ගනිස්තානයත්, පාකිස්තානයත් අතරේ සතියක සටන් විරාමයක් සඳහා සාම ගිවිසුමකට අස්සන් තැබුණි. 

ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන රජයේ නියෝජිතයන් එකිනෙකා හමුවී, සාකච්ඡා කිරීමෙන් පසු සතියක සටන් විරාමයක් සඳහා සාම ගිවිසුමකට එකඟ වූයේ තුර්කි ඉස්තාන්බුල් නුවරදීය.

ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතරේ හටගත් අර්බුදය විසඳීමට තුර්කිය පමණක් නොව, කටාර් රාජ්‍යය ද මැදිහත් වී සිටී. ඇෆ්ගන් තලේබාන්වරුන්, එරට බලය අතට ගනිමින් රජයක් පිහිටුවීම කළේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අසල්වැසියන් වන අතර, පාකිස්තාන රජයට එරෙහිව සටන් වදින පාකිස්තාන තලේබාන්වරුන්ට ඇෆ්ගන් රජය සහාය දක්වයි. රැකවරණය පවා දෙයි. ඊට අමතරව, ඇෆ්ගන් තලේබාන් රජය පාකිස්තානයේ එදිරිවාදියා වන ඉන්දියාව සමඟ ද යහපත් සබඳතා පවත්වයි. මෙම අර්බුද ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ දේශසීමා අවි ගැටුමක් තෙක් දුරදිග ගියේය. 

පාකිස්තානය තරයේ පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තානය සමඟ යුද්ධයකට පැටළීමට තමන් කිසිම අවස්ථාවක පැකිළෙන්නේ නැති බවය.

කෙසේ නමුත් දෙරට අතරේ හටගත් අර්බුදයට පැහැදිලි විසඳුමක් ලැබී නොමැත. ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන රජයේ නියෝජිතයන් අතරේ මීළඟ හමුව නොවැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිතය. එතෙක් දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වනු ඇත.


RECOMMEND POSTS