ඇෆ්ගන් ජනපති මන්දිරයට කොරෝනා රිංගලා
ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යමින් පවතින බව වාර්තා වේ.
ඇෆ්ගන් ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ කාර්ය මණ්ඩලයේ 20 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවය. කෙසේ නමුත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ එම සංඛ්‍යාව 40 ක් බවය.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානීට වයිරසය ආසාදනය වී ඇති ද යන්න සම්බන්ධයෙන් කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත. 70 හැවිරිදි ජනාධිපතිවරයා 1990 දශකයේ උදර පිළිකාවකින් පීඩා විඳි අයකු බවත්, ඔහුගේ ආමාශයේ කොටසක් ඉවත් කර ඇති බවත් පැවැසෙයි.
‘ජනපති මන්දිරයට සම්බන්ධව රාජකාරි කරන 20 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා. ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් නැහැ. ජනපති මන්දිරය විෂබීජහරණයට ලක් කෙරුණා. කලබල වීමට හේතුවක් නැහැ’ යැයි ඇෆ්ගන් රජයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.
ඇෆ්ගන් ජනාධිපතිවරයා පසුගිය දා කැබිනට් හමුවකට සහභාගී විය. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය. එපමණක් නොව, ඉරාන නියෝජිත පිරිසක් ඇෆ්ගන් ජනපති මන්දිරයට පැමිණියහ. එහිදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී මීටරයක් දුරින් සිට එම නියෝජිතයන් හමුවිය. එම හමුව පැවැත්වුණු අයුරු දැක්වෙන ඡායාරූප ඇෆ්ගන් ජනාධිපති කාර්යාල නිල ට්විටර් ගිණුමේ පළ කර තිබේ.
මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් කොවිඞ් 19 ආසාදිතයන් 933 ක් වාර්තා වී ඇත. මරණ වාර්තා වී ඇත්තේ 33 ක් ලෙසය. ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉතා දුර්වල මට්ටමක පවතී. ඒ, දශක ගණනාවක් තිස්සේ පැවැති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසය.
මැදපෙරදිග කලාපයේ පළමුවෙන්ම ‘කොවිඞ් 19’ වයිරසය පැතිර ගියේ ඉරානය කේන්ද්‍රකොට ගනිමිනි. වයිරසය එසේ පැතිරෙද්දී, යුද ගැටුම් හේතුවෙන් ඉරානයට පලා ගොස් සිටි ඇෆ්ගන් වැසියෝ දහස් ගණනක් ආපසු ඇෆ්ගනිස්තානයට පැමිණියහ. පාකිස්තානයේ සිටි ඇෆ්ගන් වැසියන් ද ආපසු පැමිණ ඇතැයි වාර්තා වේ. ඒ අනුව, ඇෆ්ගනිස්තානයේ ‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවට බියක් හටගෙන තිබේ.
කාබුල්හිදීය (රොයිටර්)

