ඇස්ට්‍රාසෙනකා එන්නත තාවකාලිකව නවත්වයි



ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත, ඔස්ට්‍රියා වැසියන්ට ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට ඔස්ට්‍රියා රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රියා රජය මෙසේ තීරණය කළේ එන්නත ලබාගත් 49 හැවිරිදි කාන්තාවක මියයෑමේ සිදුවීමක් මුල්කොට ගනිමිනි.

එන්නත ලබා ගැනීමෙන් පසු මෙම කාන්තාව කලින් නොතිබුණු ආකාරයේ රෝගාබාධ රැසකට ලක්වුණු බවත්, එම රෝගාබාධ උත්සන්න වී ඇය මියගිය බවත්, ඔස්ට්‍රියා සෞඛ්‍ය බලධාරීහු පවසති. එමෙන්ම එන්නත ලබා ගත් තවත් 35 හැවිරිදි කාන්තාවක දැඩි ලෙස රෝගී වූ බවත් ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පැවැසෙයි.

‘මෙම කාන්තාවන් දෙදෙනා රෝගී වීමත්, එක් කාන්තාවක මියයෑමත්, එන්නත ලබා ගැනීමෙන් සිදුවූවක්දැයි කියන්න බැහැ. ඒත් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතරේ සැකයක් සහ බියක් නිර්මාණය වී තිබෙනවා. එන්නත ගැන පුළුල් අධ්‍යයනයක් අප ආරම්භ කර ඇති බැවින්, එන්නත ලබා දීම අත්හිටුවීමට රජය පියවර ගත්තා’ යැයි ඔස්ට්‍රියා සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS