ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි



ඇමෙරිකා නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වුණු බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේය.

හමුදා ලේකම් ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව, පෙන්ටගනය පවසා නැත. ජෝන් ෆීලන් වෙනුවට, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි. හන්ග් කාඕ වසර 25 ක අත්දැකීම් ඇති හමුදා නිලධාරියෙකි.

ජෝන් ෆීලන්ගේ ඉල්ලා අස්වීමට හේතුව ද ඇමෙරිකන් ඉරාන යුද්ධය යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වෙන්නැයි ඇමෙරිකා යුද ලේකම් පීට් හෙග්සිත් බලකරන්න ඇතැයි ද පැවැසෙයි.

මීට පෙර, පීට් හෙග්සිත්ගෙන් එල්ල වුණු පීඩන හමුවේ ඇමෙරිකන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීප දෙනෙක් ද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූහ.

මේ අතර, ජෝර්ජ් බුෂ්, බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන් ජනාධිපති ධුර හොබවද්දී, ඉරානය සමග යුද්ධයකට යමු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එම ජනාධිපතිවරුන් තිදෙනාගෙන්ම ඉල්ලිමක් කළ නමුත් ඔවුන් තිදෙනාම එය ප්‍රතික්ෂේප කළ බව ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන ජෝන් කෙරී පවසයි. ඒ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිණි.

ජෝර්ජ් බුෂ්, බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන්, ඉරානයට පහර දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කළත්, ට්‍රම්ප් එකපයින් ඊට කැමැත්ත පළ කළ බවත් ඒ අනුව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවත් ජෝන් කෙරී වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

 


RECOMMEND POSTS