ඇමෙරිකා තලේබාන් සාම කතා යළි ඇරැඹේ



ඇමෙරිකා නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාම කතා යළි ආරම්භ විය. සාම කතා පැවැත්වෙන්නේ දෝහා කටාර් හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි මීට පෙර ඇමෙරිකා සහ තලේබාන් නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡා අසාර්ථක විය. ඒ, තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි. එම සාකච්ඡා අතහැර දැමීම කළේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඒ, සාකච්ඡා අවසන් අදියරට ළඟා වූ අවස්ථාවේදීය.
ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින් සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ ඇමෙරිකන් සාම නියෝජිත සැල්මේ කාලිල්සාද් ය.

සැප්තැම්බරයේ අතහැර දැමුණු සාකච්ඡා නිල වශයෙන් යළි ආරම්භ වූ බව තලේබාන් සංවිධානය පමණක් නොව ඇමෙරිකාව ද පවසා ඇත. සාම සාකච්ඡා පැවැත්වෙන්නේ, වසර 18 ක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීමට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිවය.

පසුගිය තුතිපුද කිරීමේ දිනයේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හදිසියේ ඇෆ්ගනිස්තානයේ සංචාරය කළේය. ඒ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසමිනි. ඇමෙරිකා ජනාධිපති ලෙස ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට ගිය පළමු අවස්ථාව මෙයයි.
අත්හැර දැමුණු සාම කතා යළි ආරම්භ කරන බවත් සාම කතා සාර්ථක කර ගැනීමට තලේබාන් සංවිධානය කැපවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවැසුවේය.

දෝහාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS