ඇමෙරිකාව අතිප්‍රබල බෝම්බයකින් අයි.එස්. ත්‍රස්තයන්ට පහර දෙයි

ඇමෙරිකාව ඔවුන් සතු අතිනවීනතම අවිය යොදා ගනිමින් ඇෆ්ගනිස්තානයේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඝාතනය කළේය. විදෙස් පුවත් සේවා වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් මියගිය අයි.එස්. ත්‍රස්තයන් ගණන 36 ක් කියාය.
ඇමෙරිකාව සතුව පවතින න්‍යෂ්ටික නොවන විනාශකාරී අවිය මෙයයි. මෙය අති ප්‍රබල වායු බෝම්බයකි. ‘බෝම්බවල අම්මා’ යනුවෙන් මෙය ඇමෙරිකානුවන් විසින් නම් කරනු ලැබ ඇත. මෙහි බර කිලෝ ග්‍රෑම් 9,800 කි.
බෝම්බය ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේ අයි.එස්. ත්‍රස්තවාදීන් සැඟවී සිටි තිප්පොළකට හෙලන ලදී. භූගතව මෙම තිප්පොළ පිහිටා තිබුණු බව පැවැසෙයි.
ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කිරීම සඳහා කිලෝ මීටර් 300 ක් පමණ දිග උමං පද්ධතියක් භාවිත කරති. මෙම උමං පද්ධතිය මුළුමනින්ම විනාශ වුණු බව ඇමෙරිකන් හමුදාව කියයි.
ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පාදක කර ගනිමිනි. ඔවුන් ඒ බව ඇෆ්ගන් රජයට සහ හමුදාවට ද දැනුම් දී තිබේ. සිවිල් වැසියන්ට ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද වාර්තා වේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සිය අප්‍රසාදය පළ කර ඇත. මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කළ මහා යුද අපරාධයක් යැයි ඔහු මෙම බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇත.
(ඒ.එෆ්.පී.)

