ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 20 ක් මරුට



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, එල් පාසෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුවුණු වෙඩි තැබීමකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ.

ටෙක්සාස් ජනපද ඉතිහාසයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය යැයි ජනපද ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

තැබීම සිදුවූයේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට නුදුරින්, එල් පාසෝ නුවර, ‘සියේලෝ විස්තා’ නමැති සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පිහිටි ‘වෝල්මාට්’ අලෙවි සැල ආසන්නයේය. ‘වෝල්මාට්’ යනු ඇමෙරිකාවේ වෙළෙඳ ජාලයකි. ඕනෑම භාණ්ඩයක් පහසු මිලට ලබා ගැනීමට බොහෝ දෙනා වෝල්මාට් වෙත යයි.

වෙඩි තැබීම සිදුවූයේ ඊයේ (3) ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 10 ට පමණය. ඒ වනවිටත් වෙළෙඳ සංකීර්ණය ජනතාවගෙන් පිරී තිබුණි. ඇමෙරිකාවේ නව පාසල් වාරය මේ වනවිට ආරම්භ වීමට නියමිත අතර, දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට පැමිණි මවුවරුන් වැඩි දෙනකු ඒ අතර සිටි බව ද වාර්තාවේ. මියගිය සහ තුවාල ලැබූවන් අතර පොඩිත්තෝ ද වෙති.

වෙඩි තැබීම කළේ 21 හැවිරිදි තරුණයෙකි. පොලිසිය පසුව ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේය. එම තරුණයා පැට්‍රික් කෘසියස් නමැති අයකු බව පසුව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ස්වංක්‍රීය ගිනි අවියකින් සන්නද්ධව, කන් ආවරණ පැළැඳ, අඳුරු ටී ෂර්ටයකින් සැරසී, වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පැටි්‍රක් කෘසියස් ඉවක් බවක් නොමැතිව දකින දකින සැමට වෙඩි තබන්න පටන් ගත්තේය.

පැට්‍රික් කෘසියස් ඩලාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීම සැලවුණු සැණින් පොලිස් සහ ස්වොට් භට කණ්ඩායම් වහා පැමිණ වෙළෙඳසැල වට කළේය. වෙඩික්කරු කොටු කර ගන්නා අතරතුරේ පොලිසිය වෙළෙඳසැලට ඇතුළු වෙමින්, එහි සැඟවී කොටුවුණු පිරිස් ආරක්ෂිතව පිටතට ගෙන්වා ගැනීම සිදු කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එල් පාසෝ නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS