ඇමෙරිකාවේ යළි මරණ දඬුවම කරළියට



තාවකාලිකව අත්හිටුවා දැමුණු මරණ දඬුවම වසර 16 කට පසු යළි ක්‍රියාත්මක කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වන අතර ඒ සඳහා ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලයේ) ඒකමතික අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව, මරණ දඬුවම නියම වී සිටින දරුණු අපරාධකරුවන් පස් දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙනු ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම අපරාධකරුවන් පස් දෙනා මරණයට පත් කරනු ලබන්නේ  ‘පෙනොබාබිටෝල්’ විස එන්නත ශරීර ගත කිරීමෙනි.

මරා දැමීමට නියමිත අපරධකරුවන් වන්නේ, ඩැනියෙල් ලුවිස් ලී, ලෙස්මොන්ඞ් මිචෙල්, වෙස්ලි ඊරා පර්කී, ඇල්ෆ්‍රඞ් බොරෝජියෝස් සහ ඩස්ටින් ලී හොන්කෙන් යන අය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

සුදු අන්තවාදියකු වන ඩැනියෙල් ලුවිස් ලී අට හැවිරිදි දැරියක ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත. ලෙස්මොන්ඞ් මිචෙල් 63 හැවිරිදි කාන්තාවක සහ ඇගේ තරුණ මිණිබිරිය මරා දමා ඇත්තේ ගෙල කපා දමමිනි. වෙස්ලි ඊරා පර්කී ගැටවර දැරියක දූෂණය කර මරා දැම්මේය. ඇල්ෆ්‍රඞ් බොරෝජියෝස් සිය දියණිය දූෂණය කර ඇය මරා දැමූ අතර ඩස්ටින් ලී හොන්කෙන් වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළේය.

මොවුන් පස් දෙනාගෙන් පළමුවෙන් මරණ දඬුවමට ලක් වන තැනැත්තා වන්නේ ඩැනියෙල් ලුවිස් ලී බවත්, ඔහු දෙසැම්බර් 9 වැනිදා මරා දැමෙනු ඇති බවත් අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත්, සෙනෙට් මණ්ඩලයත් ඒකමතිකව අනුමැතිය ලබා දී ඇති අතර මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අදාල ලියවිල්ලට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

‘නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයත් අනුමැතිය මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිමිවුණා. ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් කළා. නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගන්නවා. අසාධාරණයකට ලක්වුණු පාර්ශ්වයන් වෙනුවෙන්, ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි’ යැයි ඇමෙරිකන් නීතිපති විලියම් බාර් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ලොව මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතරින් ඇමෙරිකාව ඉදිරියෙන් සිටින අතර, ඇමෙරිකාවේ ප්‍රාන්ත 29 ක මරණ දඬුවම නීතිගත කර ඇත.කෙසේ නමුත් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දිගින් දිගට කළ බලපෑම් මුල්කොට ගනිමින්, 2003 වසරේ සිට මරණ දඬුවම තාවකාලිකව නතර කෙරුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සමූල ඝාතකයන් ඇතුළු දරුණු අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දීම කළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස වී ඇත. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ ද මරණ දඬුවම ක්‍රියාත්මක කරමින්, අපරාධ මැඬලීමට පියවර ගන්නා බවට පොරොන්දු වෙමිනි.

2003 දී අවසන් වරට ඇමෙරිකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ 19 හැවිරිදි සෙබළකු ඝාතනය කළ 53 හැවිරිදි හමුදා නිලධාරියකුට එරෙහිවය. 1988 සිට 2018 තෙක් කාලයේ ඇමෙරිකන් ෆෙඩරල් අධිකරණය 78 දෙනකුට මරණ දඬුවම නියම කළේය.

2003 වෙද්දී එයින් මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ එයින් තිදෙනකුට පමණි.  ඉතිරි හැට දෙදෙනා බන්ධනාගාරවල රඳවනු ලැබ ඇති අතර, විස එන්නත ලබා දීමට නියමිත පස් දෙනා ද ඊට අයත් වන බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS