ඇමෙරිකාවේ ආසාදිතයෝ 90,000 ක්



ගතවුණු පැය 24 ඇතුළත ඇමෙරිකාවෙන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 90,000 ක් වාර්තා වුණැයි ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (30) වාර්තා කළේය.

ඇමෙරිකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන මෙය යැයි එරට ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේය. ඇමෙරිකාවේත් ලෝකය පුරාත් කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සජීවී දත්ත බෙදා හරින එක් ආයතනයක් වන්නේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයයි.

ගතවුණු පැය 24 ඇතුළත ඇමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 91,295 ක් බව ද පැවැසෙයි. මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 9,212,560 ක් වන අතර මරණ වාර්තා වන්නේ 234,177 ක් ලෙසය. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන රට ඇමෙරිකාවය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි සටන අත්හරින්න එපා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් ඉල්ලීමක් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ ඉල්ලීමක් කළේ ඇමෙරිකානුවන් කොරෝනා වයිරසයට එරෙහි සටන අතහැර දමා ඇතැයි පළ වන වාර්තා සැලකිල්ලට ගනිමිනි.

‘වයිරසය ඉක්මණින් සහ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ආසාදිතයන් මරණ දිනෙන් දින වැඩි වෙනවා. වයිරසය සමඟ සටන් කිරීම පමණක් නොව, වයිරසරෙය් ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, අත් නිතර පිරිසුදු කිරීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම අසීරු කටයුත්තක් වෙලා. බොහෝ දෙනා උත්සාහය අතහැරලා. වයිරසයට දිනන්න ඉඩදීලා‍. මා ලෝකයෙන් ඉල්ලා සිටිනවා එසේ කරන්න එපා. වයිරසයට එරෙහිව දිගටම සටන් කරන්න’ යැයි ටෙඩ්‍රෝස් ගැබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

පසුගිය දින කීපයේ පමණක් ලොව නන්දෙසින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර ඇති බවත්, යුරෝපා රටවලින් දැන් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා තිබේ.

මේ වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 44,264,425 ක් තෙක් ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 1,171,680 ක් ලෙසිණි. තවමත් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 9,038,030 ක් වන අතර ලබන නොවැම්බර් පළමු වැනිදා වනවිට එය 10,000,000 පසු කරනු ඇතැයි බිය පළ වී ඇත.

දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 7,999,000 කි. මරණ වාර්තා වන්නේ 1,20,054 ක් ලෙසිණි. දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ සමස්ත මරණ 1,58,000 කි. සමස්ත ආසාදිතයන් ගණන 5,440,903 කි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS