ඇට්ලැන්ටා පොලිසියට නව ප්‍රතිසංස්කරණ



ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර පොලිසිය වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පියවර ගන්නා බව ඇට්ලැන්ටා නගරාධිපතිනී කීෂා ලාන්ස් බොටම්ස් පවසා ඇත.

ඉකුත් 13 වැනිදා පටන් ඇට්ලැන්ටා නුවර විරෝධතා උත්සන්න වී තිබේ. විරෝධතා ආරම්භ වූයේ පසුගිය මාර්තු 25 වැනිදා, මිනියැපොලිස් නුවර පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් මියයෑමේ සිදුවීමත් සමඟය.
කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය දක්වමින් පසුගිය 13 වැනිදා ඇට්ලැන්ටා නුවර විරෝධතා හටගත්තේය. කලහකාරී විරෝධතාකරුවන් මර්දනයට පොලිස්පතිවරයා හමුදාව යෙදවීය.

සාමකාමීව ආරම්භ වුණු විරෝධතා රැලිවලට ඇට්ලැන්ටා කළු ජාතිකයන් පමණක් නොව, සුදු ජාතියන් ද ඇට්ලැන්ටා පදිංචි ඇමෙරිකානුවන් ද එක් වී සිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී සුදු පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් රේෂාඞ් බෲක්ස් නමැති කළු ජාතික තරුණයා මියගියේය. ඒ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් සහ පොර බැඳීමකින් පසුවය. වෙඩි වැදී තිබුණේ රේෂාඞ් බෲක්ස්ගේ පිටට බවත්, එය මිනීමැරුමක් බවත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. ඒ අනුව, වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රෙෂාඞ් බෲක්ස් මියයෑමේ සිදුවීමත් සමඟ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයත් සමඟ ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල ආරම්භ වුණු විරෝධතා තවත් උත්සන්න විය. සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ඇට්ලැන්ටා පොලිස්පතිනී එරිකා ෂීල්ඞ් මේ වනවිට සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඇට්ලැන්ටා නගරාධිපති 50 හැවිරිදි වියෙහි පසුවන කීෂා ද කළු ජාතික කාන්තාවකි. ඇය ඇට්ලැන්ටා නුවර නගරාධිපති ධුරයට පත් වූයේ 2017 වසරේදීය. නගරාධිපති ධුරයට පත් වීමට පෙර කීෂා, ඇට්ලැන්ටා නගරසභා මණ්ඩලයේ සාමාජිකායක ලෙස කටයුතු කළාය. නගරාධිපතිනී කීෂා ලාන්ස් බොටම්ස් පෙන්වා දී ඇත්තේ නව පොලිස් ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රධාන වශයෙන්, පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමෝපායන් වෙනස් කරන බවය.

ඇට්ලැන්ටා පමණක් නොව, ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට ලක්වුණු මිනියැපොලිස් නගරයේ ද පොලිසියට ද නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට මිනියැපොලිස් නගර බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. නිව්යෝක් නගරාධිපතිවරයා ද නිව්යෝක් පොලිසියට ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇට්ලැන්ටාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS