ආසාදිතයන් වැඩිවීම කනස්සල්ලක්



ඇමෙරිකාවේ ජනපද රැසකින් ඉතා ඉක්මනින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන්  ඇමෙරිකා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුචි සිය කනස්සල්ල පළ කර ඇත.

ඇමෙරිකා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා මෙසේ කනස්සල්ල පළ කළේ, ‘කොවිඞ් 19’ වයිරස වසංගතයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පත් කර ඇති කොංග්‍රස් මණ්ඩල (පාර්ලිමේන්තු) විශේෂ කමිටුව හමුවේ කරුණු දක්වමිනි.

මෙම විශේෂ කමිටුව, ඇමෙරිකා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී ඇන්තනි ෆවුචි කැඳවමින් ප්‍රශ්න කළේ, වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන බැවින්, සිදු කරන පරීක්ෂණ අඩු කරන්නැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇතැයි යන චෝදනාව සම්බන්ධයෙනි.

ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන බැවින්, වෛද්‍ය පරීක්ෂණ අඩු කරන්නැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිසිම අවස්ථාවක සෞඛ්‍ය අංශවලට උපදෙස් දී නැති බව කමිටුව හමුවේ වෛද්‍ය ඇන්තනි ෆවුචි පැහැදිලි කළේය. පරීක්ෂණ කිසිසේත් අඩු කර නැති බවත්, පරීක්ෂණ ප්‍රමාණය තවත් වැඩි කර ඇති බවත් වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කර තිබේ. ඉදිරි මාස කිහිපයේ ආසාදිතයන් සෙවීමට වෛද්‍ය පරීක්ෂණ මිලියන 40 ක් හෝ 50 ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය ෆවුචි පැහැදිලි කළේය.

මේ වනවිට ‘කොවිඞ් 19‘ ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන රට ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මිලියන 2.3 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ 1,20,000 කි.

කොංග්‍රස් මණ්ඩල විමර්ශන කමිටුව හමුවේ ‘කොවිඞ් 19’ වයිරස වයාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට, වෛද්‍ය ෆවුචි පමණක් නොව, ඇමෙරිකාවේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ඔවුන් සැවොම එකහෙළා කියා සිටියේ, වයිරසය පාලනය කිරීමට වෛද්‍ය පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් නොවන බවත්, නිරෝධායන රෙගුලාසි දිගටම ක්‍රියාත්මක කළ යුතු බවත්ය.  

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS