ආදරේ සොයා ෆින්ලන්තයට එන්න
‘ලොව සතුටුම රට’ ලෙස වසරක් පාසා අංක එක ස්ථානයේ පසුවන ෆින්ලන්තයේ නිවාඩුවක් ගත කිරීමට කැමැති ලොව පුරා සිටින තනිකඩ තරුණ තරුණියන්ට ෆින්ලන්ත රජය සහ එරට සංචාරක අමත්‍යාංශය අපූරු ඇරැයුමක් කර ඇත. ඒ, ෆින්ලන්තයට පැමිණ, තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සොයා ගන්නැයි පවසමිණි.
වයස අවුරුදු 18 ට වැඩි ලොව පුරා සිටින ඕනෑම තනිකඩ තරුණයකුට හෝ තරුණියකට (ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව) මේ සඳහා අයදුම් කළ හැකිය. අයැදුම්පත් අතරින්, අදාළ සුදුසුකම් සපුරන තනිකඩයන් 16 දෙනකුට මෙම සුවිශේෂ අවස්ථාව හිමිවෙයි. සියලු වියදම් දරණු ඇත්තේ ෆින්ලන්ත රජයයි.
කැමැත්තක් දක්වන ඕනෑම අයකුට ‘විසිට් ෆින්ලන්ඩ්’ නිල වෙබ් අඩවිය හරහා පමේ සඳහා ඇයැදුම් කළ හැකිය. ෆින්ලන්තයට එන්නැයි එරට සංචාරක මණ්ඩලය මෙම නව වැඩසටහන ආරම්භ කර ඇත්තේ ‘විසිට් ෆිලන්ඩ්’ නමැති නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේය.
අයැදුම්පත් අතරින් තෝරාගෙන, එසේ පැමිණෙන 16 දෙනාට ෆින්ලන්තයෙන්, ආදර සහකාරියක හෝ සහකරුවකු සොයා ගැනීමට හැකිවේවි යැයි ෆින්ලන්ත රජය පවසයි. එම සහකාරියක හෝ සහකරුවකු සමග ෆින්ලන්තයට පමණක් ආවේණීක ප්‍රණීත ආහාර පාන රස බැලීම ද හැකිවෙයි. ඒ, ‘ෆීනිෂ් ඩිනර් ඩේට්’ ලෙස නම් කළ ප්‍රවර්ධන වැඩසටහන යටතේය.
අයැදුම්පත් අතරින් තෝරා ගන්නා 16 දෙනා ට නොමිලේ ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා වන සියලුම වියදම් හිමිවෙයි.
16 දෙනා අට දෙනා බැගින් කාණ්ඩවලට වෙන් කරමින්, 2027 පෙබරවාරි 9 සිට 19 දක්වා දින 10 බැගින් හෙල්සින්කි සහ ටැම්පරේ නගරවල සංචාරය කිරීමට ඉඩ සැලසෙයි. හෙල්සින්කි යනු ෆින්ලන්තයේ අගනුවරය.
ෆින්ලන්තය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු කලාපයට ආසන්නව පිහිටි දූපත් හා වනාන්තරවලින් පිරි සුන්දර රටකි. ලොව ඉහළම අධ්‍යාපන ක්‍රමවේදයන්ට, තාක්ෂණික දියුණුවට සහ විශිෂ්ට සෞඛ්‍ය හා සුභසාධන සේවාවන් සම්බන්ධයෙන් ෆින්ලන්තය ප්‍රසිද්ධියක් උසුලයි. ෆින්ලන්තය, ආරක්ෂිත මෙන්ම පරිසර හිතකාමී ජීවන රටාවකට හිමිකම් කියන සංවර්ධිත රාජ්‍යයකි.

