අවුරුදු 75 ක් වයසැති විරෝධතාකරු තල්ලු කරලා



කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණයත් සමඟ කළු ජාතිකයන්ට එල්ල වන අඩන්තේට්ටම්වලට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා ප්‍රධාන නගර රැසක තවමත් විරෝධතා පැවැත්වෙයි.

නිව්යෝක් ජනපදයේ බෆලෝ නුවර එසේ විරෝධතාවකට එක් වුණු විරෝධතාකරුවකු වන 75 හැවිරිදි මාටින් ගුජියෝ නමැත්තා පොලිස් නිලධාරීන් දෙදෙනකු තල්ලු කරන බවත්, පසුපසට විසිවී මාටින් ගුජියෝ ඇද වැටී ඔහුගේ හිසෙන් ලේ ගලන දසුන් මේ වනවිට ඇමෙරිකන් පුවත් සේවා ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

සිද්ධිය අසල සිටි අයකු ජංගම දුරකතනයෙන් රූගත කළ අතර, කාගේත් හදවත් කම්පා කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ එම දසුන්ය. මාටින් ගුජියෝ තල්ලු කරන්නේ කැරැලි මර්දනයට යෙදවුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු වන ඇරන් ට්‍රොගල්ස්කි (39) සහ රොබට් මැකාබේ (29) දෙදෙනාය.

මාටින් ගුජියෝ කඩිනමින් රෝහල් ගත කළ අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. ගුජියෝ ට පහර දුන් වරදට ඇරන් ට්‍රොගල්ස්කි සහ රොබට් මැකාබේ අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් අධිකරණය හමුවට ද ඉදිරිපත් කෙරුණි.

පොලිස් නිලධාරීන් තල්ලු කිරීමෙන් පසු ගුජියෝ ඇද වැටී තුවාල ලබන දසුන් දැකීමෙන් තමන් දැඩි කම්පනයට පත් වුණු බව නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෲ කූමෝ පවසා තිබේ.
බෆලෝ නගරාධිපති බ්‍රයන් බ්‍රවුන් ද පවසා ඇත්තේ සිද්ධිය දැකීමෙන් තමන් ද කම්පනයට පත්වුණු බවත් නීතිය හ සාමය සුරැකින පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සහ ප්‍රජා ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී ඇති බවය.

නිව්යෝක් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS