අවමංගල සේවා අන්තර් ජාලය හරහා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බැවින්, අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ අවමංගල උත්සව අන්තර් ජාලය ඔස්සේ විකාශය කෙරන බවත්, ස්කයිප්, වයිබර් සහ සමාජ මාධ්‍ය සේවා ඔස්සේ ජනතාව නිවෙස්වල සිට ඊට සම්බන්ධ වන බවත් වාර්තා වේ.

පළමු කොවිඞ් 19 ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ ඝානා රාජ්‍යය ලොක්ඩවුන් කිරීමට ජනාධිපති නානා අකු-ෆෝ අඩෝ පියවර ගත්තේය. ඒ, මාර්තු 12 වැනිදා සිටය.
රටේ පාසල් වසා දැමුණු අතර රටේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය. ජන ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙද්දී, සියලු කටයුතු අන්තර් ජාල සේවා හරහා සිදුවන බව පැවැසෙයි.

අවමංගල්‍යයකට සහභාගී වීමට අවසර ලැබී ඇත්තේ පවුලේ සමීපතම කිහිප දෙනකුට පමණක් වන අතර සෙසු පිරිස සහභාගී වන්නේ අන්තර් ජාලයෙනි.

මේ වනවිට ඝානා රාජ්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 2,000 පසු කර තිබේ. මරණ 17 ක් ලෙස වාර්තා වන අතර, 212 දෙනකු සම්පූර්ණ සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

ඝානා යනු බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. ගිනියා අර්ධද්විපයේ අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටා ඇත. 2018 ලෝක බැංකු වාර්තා අනුව එරට ජනගහනය මිලියන 29.77 කි. නිල භාෂාව වන්නේ ඉංග්‍රීසිය. ඝානා රාජ්‍යයේ අසල්වැසි රාජ්‍යයන් වන්නේ අයිවරි කෝස්ට්, ටෝගෝ සහ බෙනින් ය.

මෙම 2020 ජනවාරියේ ඝානා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය ‘කොවිඞ් 19’ වසංගත උවදුර දිගටම පවතින්නේ නම්, ජනාධිපතිවරණය අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමට ක්‍රමවේදයක් සකස් කරන බව මැතිවරණ කොමිසම පැවැසීය. කෙසේ නමුත් ඊට පාලන පක්ෂයෙන් පමණක් නොව විපක්ෂයෙන් ද විරෝධය එල්ල වූ බව පැවැසෙයි.

අක්රාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS