අල් බැග්ඩෑඩි මැරුණාදැයි සැකයි



අයි.එස්. ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි සැබැවින්ම මියගියාදැයි සැකයක් පවතින බවත්, ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ සහ ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බොරුවක් කීවා විය හැකි බවත් රුසියානු ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනපති ට්‍රම්ප් ලබන වසරේ එනම් 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙයි. අල් බැග්ඩෑඩි වැනි ඇමෙරිකාවට වඩාත් ඕනෑකර සිටින ත්‍රස්ත නායකයකු ඝාතනය ජනපතිවරණයේ දී ට්‍රම්ප්ට වාසියක් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමත්‍යාංශ වෙනුවෙන් මේජර් ජනරාල් ඊගෝල් කොනෙෂෙන්කෝ පවසා ඇත.

26 වැනිදා රාත්‍රියේ වයඹදිග සිරියාවේ කළ මෙහෙයුමක් අතරතුරේ අල් බැග්ඩෑඩි ‘බල්ලකු’ සේ මියගිය බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ 27 රාත්‍රියේය. ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, ජාතිය ඇමැතූ අවස්ථාවේදීය.

අල් බැග්ඩෑඩි මියගියේ උමඟක් තුළ කොටුවුණු අවස්ථාවේ, සිය බෝම්බ කබාය පුපුරුවා ගනිමිනි. එම පිපිරීමත් සමඟ උමඟ බිමට සමතලා වී ඇත. සුන්බුන් ඉවත් කරමින්, අල් බැග්ඩෑඩිගේ සිරුරු කොටස් එක් රැස් කළ ඇමෙරිකන් සොල්දාදුවන් මිනිත්තු 15 ක් ඇතුළත පවසා ඇත්තේ බැග්ඩෑඩි මියගිය බව තහවුරු කරන බවය.

රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පෙන්වා දී ඇත්තේ බැග්ඩෑඩි මියගිය බව ප්‍රසිද්ධ කිරීමට ජනපති ට්‍රම්ප් ඉක්මන් වූ බවය. සිරුරු කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත බව පැවැසෙයි. අල් බැග්ඩෑඩිගේ ඝාතනය සම්බන්ධයෙන් සැක කරන බව රුසියාව පවසන්නේ මෙහෙයිනි.

මේ අතර, මේජර් ජනරාල් ඊගෝල් කොනෙෂෙන්කෝ වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අංශ කිසිවක් දැන නොසිටි බවය.

ඉඞ්ලිබ් පළාත කේන්ද්‍රකොට ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදීන් යළි නැගී සිටීමට සූදානම් වූ බවට තොරතුරු ලැබී තිබුණ ද අයි.එස්. නායකයා ඉඞ්ලිබ් පළාතට පැමිණි බව තමන් දැන නොසිටි බව රුසියා ආරක්ෂක අමත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

මොසකව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS