අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගන් තලේබාන් රජයට තර්ජනයක්



ඇෆ්ගනිස්තානයේ ‘කොරාසන්’ පළාත කේන්ද්‍රකොට ගනිමින් බිහිවුණු ‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත කල්ලිය ඇෆ්ගන් තලේබාන් පාලකයන්ට තර්ජනයක් බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දෙයි.

පසුගිය දා ඇෆ්ගනිස්තානයේ ගුවන් හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක් සිදුවිය. බෝම්බ පිපිරීම සිදු කළේ තමන් බව ‘කොරාසන් අයි.එස්.’ ත්‍රස්ත කල්ලිය පවසා තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 20 කි. තුවාල ලැබූ ගණන 18 කි.

තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින්, රජයක් පිහටුවූයේ 2021 අගෝස්තුවේ, ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය. ‘කොරාසන් අයි.එස්.’ ත්‍රස්ත කල්ලිය බිහිවූයේ, තලේබාන් සංවිධානයේ දැඩි අන්තවාදී සාමාජිකයන්ගේ එකමුතුවෙනි.

තලේබාන් සංවිධානය සහ එහි දේශපාලන අංශයේ අදහස් මෙම අයි.එස්. ත්‍රස්තවාදීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. තලේබාන් සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ‘කොරාසන් අයි.එස්.’ ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරයි.

තලේබාන් රජය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරන නමුත්, තලේබාන් රජය මූලික සිවිල් අයිතීන් උල්ලංඝනය කරන බවට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙයි.

තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇති අතර, බාලිකා අධ්‍යාපනය සහ කාන්තාවන්ට රැකියාවල නියැලීම පවා තහනම් කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS