අපේ රටේ රුසියානු චරපුරුෂයෝ නෑ

ඇමෙරිකාවට සහ මහා බ්‍රිතාන්‍යයට සහාය පළ කරමින්, නවසීලන්තයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික රහස් ඔත්තු නිලධාරීන් රටින් නෙරපා දැමීමට තමන් ද කැමැති නමුත් නවසීලන්තයේ එසේ රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරීන් කිසිවකු නැතැයි එරට අගමැතිනී ජැසින්ඩා ඇර්ඩර්න් පවසයි.
‘නවසීලන්ත රජය හොඳින් සොයා බැලීමක් කළා. ඒත් අපි දන්නා පරිදි නවසීලන්තයේ රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරීන් කවුරුවත් නැහැ. ඒ හින්දා අපට රටින් නෙරපන්න කෙනෙක් ඇත්තේ නැහැ’ යැයි ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් අගමැතිනිය පවසා ඇත.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණක් නොව, ඕස්ටේලියාව පවා මේ වනවිට රුසියාවට එරෙහිව ගොස් ඇත. ඒ, මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලැබ එරට ජීවත් වුණු රුසියානු ජාතික රහස් ඔත්තු නිලධාරියා සර්ගේ ස්ක්‍රිපාල් සහ දියණියට වස දීමේ සිද්ධිය සහ එසේ වස දීම කළේ රුසියාව යැයි චෝදනා එල්ල වීමත් සමඟය. එල්ල වන මෙම චෝදනා රුසියාව සහ රුසියානු ජනාධිපති පුටින් තරයේ ප්‍රතික්ෂේප කරයි.
රුසියාවට විරෝධය පෑමක් ලෙස මහා බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව මේ වනවිට ඔවුන්ගේ රටවල සිටින රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරීන් යැයි හඳුනාගත් රුසියානු රාජන් තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
(ඒ.එෆ්.පී.)

