අතට අත දෙන්න කැමැතියි



එදිරිවාදිකම් පැවැතියත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී, අතටඅත දී ඔහු සමඟ කතා කිරීමට, තමන් කැමැති බව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී සිටින වෙනිසියුලා නායක නිකලස් මදුරෝ පවසා ඇත.

වෙනිසියුලා නායකයා මෙවර ජගත් මහ සමුළුවට සහභාගී වී, මහා මණ්ඩලය අමතමින් දේශනයක් පැවැත්වූයේ පෙර දැනුම් දීමකින් තොරවය. පසුගිය වසරේ මහා මණ්ඩල සැසිය වර්ජනය කිරීමට ජනාධිපති මදුරෝ කටයුතු කර තිබුණි. ඒ, ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක් තමන්ට කෙණෙහිලිකම් කරනවා යැයි චෝදනා කරමිණි.

මෙවර තමන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට තමා සහභාගී වීමට තීරණය කළේ වෙනිසියුලාව සම්බන්ධයෙන් සහ තමා සම්බන්ධයෙන් පවතින දුර්මත දුරලීමට යැයි වෙනිසියුලා ජනාධිපති මදුරෝ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
මත ගැටුම් පැවැතිය ද තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී අතට අත දී කතා කිරීමට කැමැති බව මදුරෝ කියා සිටියේ ජගත් මහ සමුළුවේදී සිය දේශනය පැවැත්වූ අවස්ථාවේදීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊට ප‍්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ වෙනිසියුලා ජනාධිපති හමුවීමට අවස්ථාවක් ලැබෙනවා නම් තමන් එය මඟ නොහරින බවය.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කරන බවට ඇමෙරිකාව ඇතුළු රටවල් හයකින් චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ,  ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පවා තමන් පසුබට නොවන බවය.

ට‍්‍රම්ප් පරිපාලනය මේ වනවිටත් වෙනිසියුලාවටත්, ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලයේ බොහෝ දෙනකුට එරෙහිවත් සම්බාධක පැනැවීමක් කර තිබේ.

මදුරෝ වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වෙනිසියුලාවේ අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙසය. මදුරෝගේ පාලනය යටතේ වෙනිසියුලාව ආර්ථික සහ බලශක්ති ආදී වශයෙන් අර්බුද රැුසකට මුහුණ පා සිටිති. වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් නිරන්තරයෙන් මදුරෝට එරෙහිව විරෝධතා රැුළි පවත්වයි. මදුරෝ චෝදනා කරන්නේ, ඇමෙරිකාවේ උසි ගැන්වීම මත විපක්ෂ කි‍්‍රයාකාරීන් රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS