මහාචාර්ය ධම්මික ගංගානාත් සමුගනී



ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා වශයෙන් ද කෙටි කටයුතු කළේය.

මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවූ ගංගානාත් දිසානායක මහතා සවී දිසානායක හා රුචී දිසානායක යන දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

ගංගානාත් දිසානායක මහතා සරෝජා දිසානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා ද විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වූ ගංගානාත් දිසානායක මහතා එම විශ්ව විද්‍යාලයේ වසර 30ක පමණ කාලයක් සේවය කළේය.

ඔහු  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවේ මෙන්ම ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවේ සමායෝජකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් 2002 වසරේ සිට 2004 වසර දක්වා කටයුතු කර ඇති ධම්මික ගංගානාත් දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා වශයෙන් 2015 වසරේ ටික කාලයක් කටයුතු කළේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් 2015 සැප්තැම්බරයේදී වැඩ භාරගත් ඔහු 2019 වසර දක්වාම එම තනතුර හෙබවීය. 

එම තනතුරට සමුදී පැමිණී පසුත් ඔහු ටික කලක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවය කළේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා ඉන්අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව කෙටි කලකින් මාරුවක් ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව ලබා ගත් ධම්මික ගංගානාත් දිසානායක මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යාපන කටයුතුවල යෙදී සිට ඇති අතර ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ද ජපානයේ විශ්ව විද්‍යාලයකිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතා ජනප්‍රිය ආචාර්යවරයකු හා සන්නිවේදකයකු වූ මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා එම විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල හා නළමුදු සුවඳ ආදී වැඩසටහන්වල සන්නිවේදකයකු ලෙස ද කටයුතු කළේය.

ගත් කතුවරයෙක් ද වන මහාචාර්ය දිසානායක මහතා පුවත්පත්වලට තීරු ලිපි ද රචනා කළේය.

ඔහු විසින් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට රචනා කළ ‘පැණි වළලු’ තීරු ලිපි එකතුව පසු කලෙක කෘතියක් වශයෙන් ද මුද්‍රණය කෙරිණි.

ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය මත්තේගොඩ, සම්බුද්ධිවත්ත පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS