යුද්ධයට දෙවියන් වහන්සේ ඈදා ගන්න එපා - පාප් වහන්සේ

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට ජේසුතුමන් ඈදා ගනිමින් සාධාරණීකරණය කිරීමට උත්සාහ ගැනීමෙන් වළකින්නැයි ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ අවධාරණය කර ඇත.
ලියෝ පාප්තුමා මේ බව අවධාරණය කළේ වතිකානයේ පැවැත්වුණු ඉරිදා දේව මෙහෙය අතරතුරේය.
ඉරිදා දේව මෙහෙයට සහභාගී වූ දස දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් පාප්තුමා පෙන්වා දුන්නේ, ඕනෑම ආකාරයක යුද්ධයක් යුක්තිසහගත කිරීම සඳහා ජේසුස් වහන්සේගේ නාමය භාවිත නොකළ යුතු බවය.
‘ජේසුස් වහන්සේ සාමයේ රජාණන්. උන්වහන්සේ යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට උන්වහන්සේව භාවිත කරන්න බැහැ’ යැයි පාප්තුමා පැහැදිලි කළේය.
පසුගිය දා ඇමෙරිකන් ආරක්ෂක අමත්‍යාංශය හෙවත් පෙන්ටගනයේ පැවති ආගමික වතාවත් අතරතුර, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එහි සිටි පිරිසට පැවැසුවේ, කරුණාව ලැබීමට සුදුසු නොවන අයට එරෙහිව දැඩි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක විය යුතු බවය.
මෙම ප්‍රකාශ ද පාප්තුමාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. මැදපෙරදිග වෙසෙන කිතුනු බැතිමතුන් මෙම ගැටුම් හේතුවෙන් සිය ආගමික වතාවත් පවා නිසි ලෙස ඉටු කරගත නොහැකිව පීඩා විඳින බවත්, වහාම සටන් විරාමයක් ප්‍රකාශ කළ යුතු බවත් පාප් වහන්සේ දේව මෙහෙය අතරතුරේ අවධාරණය කළේය

