දිගටම යුද්ධ කරන්න බිලියන 200 ක් ඕනෑ



ඉරානය සමඟ දිගටම යුද වැදීමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 200 කට අධික අතිරේක ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍ය බව, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ එරට කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී ඇත.

ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙන්නේ, පෙන්ටගනය ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයෙන් ලබා ගැනීමට මෙම අතිරේක ඩොලර් බිලියන 200 ක ‘යුද වියදම’ ඉරානයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන්  අඩකටත් වඩා වැඩි බවය. ඉකුත් 2025 වසරේ ඉරානයේ දළ දේශීය නිෂ්පාදිතය සටහන් වූයේ ඩොලර් බිලියන 356.51 ක් වශයෙනි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානය සමග යුද්ධයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ය. ඉරානය සමග යුද්ධයකට යෑම ට්‍රම්ප්ගේ තනි තීරණයක් වුණු අතර, ඊට කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලි​මේන්තුව) නිසි අවසරය හිමි නොවිණි.

ඉරාන යුද්ධය දැන්ම අවසන් කළ​ නොහැකි බවත්, යුද මෙහෙයුම් තවත් ශක්තිමත් කිරීමට, අවි ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමට මෙම අතිරේක ඩොලර් බිලියන 200 ක මුදල අවශ්‍ය බව  පෙන්ටගනය පෙන්වා දී ඇතැයි ද පැවැසෙයි.

ඇමෙරිකා සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරාන ආරක්ෂක පද්ධතිය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර දැනට සති තුනකට ආසන්න කාලයක් ගතවී ඇත.

ඇමෙරිකන් මධ්‍යම අණදෙන මූලස්ථානයට අනුව, මේ දක්වා ඉරානයේ ඉලක්ක 7,800 කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරාන නෞකා 120 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර හෝ අඩපණ කර හෝ ඇත.

මේ සඳහා ඇමෙරිකන් ප්‍රහාරක ජෙට් යානාවලට ගුවන් ගමන් වාර 8,000 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බව ද පැවැසෙයි. ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට යුද්ධයේ පළමු සතිය තුළ පමණක් ඇමෙරිකාව ඩොලර් බිලියන 11 කට වඩා වැය කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.


RECOMMEND POSTS