උතුරු කොරියාව යළිත් මිසයිල අත්හදා බලයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීකෂණය යටතේ උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලුවේය. එම අත්හදා බැලීම සාර්ථක වුණු බවත්, එම මිසයිල නව මිසයිල පද්ධතියකට අයත් ඒවා බවත් පසුව වාර්තා විය.

මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බව  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත. අත්හදා බැලීම සඳහා විදිනු ලැබූ මිසයිල පතිත වී ඇත්තේ ජපන් මුහුදටය.

උතුරු කොරියාව මෙසේ කෙටි දුර මිසයිල අත්හදා බැලීම් කරන්නේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරනවා යැයි පවසමිනි. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී තැනක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බව නායක කිම් ජොන් උන් ලොවට පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ අවස්ථා තුනකදී හමුවීම් සිදුවූයේ ද ඒ අනුවය. සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවි හරණයක් කළොත්, ඇමෙරිකාව උතුරු කොරියාවට පැනැවූ සම්බාධක ඉවත් කරනවා යැයි ජනපති ට්‍රම්ප් පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු මේවනවිට ආරම්භ වී ඇති බවය. කෙසේ නමුත් ඇමෙරිකාව චෝදනා කරන්නේ තමන් අපේක්ෂා කරන මට්ටමට න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොවන බවය.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS