වටන්න බැරි ආරක්ෂාව

ඉරානය තවමත්, දිගින් දිගටම එල්ල වන දැවැන්ත ගුවන් ප්‍රහාර දරාගෙන සිටී. සරලව කීවොත්, ඇමෙරිකාවට දැන් ඉරානය හිසරදයක් වී ඇති අතර, ලෝකයේ අප කාටත් මේ යුද්ධය හිසරදයකි.
මේ යුද්ධය දැන් අපේ ජීවිත වෙනස් කිරීමට පටන්ගෙන ඇත. ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාර මැදි, ප්‍රතිප්‍රහාර එල්ල කරමින්, ඉරානට ඊට මුහුණ දෙන්නේ, ඔවුන් වසර ගණනාවක් ප්‍රගුණ කළ මොසෙයික් ආරක්ෂක උපාය මාර්ගය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී උපක්‍රමය නිසා යැයි යුද විශ්ලේෂකයෝ පැහැදිලි කරති. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක පාලනය එක මධ්‍යස්ථානයක් සතුවෙයි. ඉරානයේ මෙය වෙනස්ය. ඉරාන සතුව ඇත්තේ විශාල පද්ධතියකි. ඉරානය එරට ස්වාධීන යුද කලාප 31කට බෙදා වෙන් කර ඇත. මෙය කුඩා කොටස් (කැබලි) එකතු කර නිර්මාණය කළ මොසෙයික් සිතුවමක් වැනිය. එක් කොටසක් විනාශ වුවත් පද්ධතිය අඩපණ නොවෙයි.
ඉරානයේ සෑම පළාතකටම පත් කර ඇති අණදෙන නිලධාරීන්ට, තෙහෙරාන් අගනුවර සමඟ සන්නිවේදනය බිඳ වැටුණත් ස්වාධීනව යුද තීරණ ගැනීමේ බලය දී ඇත. ඉකුත් 28 වැනිදා, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, උත්තරීතර නායක අල් කමේනි ඝාතනය වුණු සැණින්, ඉරාන විප්ලවීය හමුදාව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර නිකුත් වුණේ මේ ස්වාධීන ක්‍රියාකාරීත්වය නිසයි. ඉරාන විප්ලවීය හමුදාවේ සියලුම මිසයිල සහ ඩ්‍රෝන බලඇණි සඟවා ඇත්තේ කඳුකර ප්‍රදේශ යට නිර්මාණය කළ අතිවිශාල භූගත බංකර් පද්ධති තුළය. මේ නිසා සතුරාගේ චන්ද්‍රිකා නිරීක්ෂණවලට හසු නොවී ඕනෑම මොහොතක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ඇත.
ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිල අධික ගුවන් යානාවලට මුහුණ දෙනවා වෙනුවට, ඉතා ලාභදායී ඩ්‍රෝන, නාවික බිම් බෝම්බ සහ කුඩා ප්‍රහාරක යාත්‍රා දහස් ගණනින් පාවිච්චි කරමින් සතුරා වෙහෙසට පත් කිරීමේ උපක්‍රමය මෙහිදී ඉරාන හමුදාව භාවිත කරන ක්‍රමවේදයයි. ඇමෙරිකාව බලාපොරොත්තු වූයේ කෙටි කාලීන, දැවැන්ත ප්‍රහාර මාලාවකින් නායකත්වය විනාශ කර යුද්ධය නිම කිරීමටය. එසේ වුවත් දැන් ඔවුන්ට සිදු වී ඇත්තේ එක් සතුරකු සමඟ නොව, ස්වාධීන යුද මධ්‍යස්ථාන 31 ක් සමඟ සටන් කිරීමටය. මෙය යුද්ධය දිග්ගැස්සීමටත්, ඇමෙරිකානු සම්පත් වැඩි වශයෙන් විනාශ වීමටත් ප්‍රධාන හේතුවක් වී ඇත.

