ඉරානය වට්ටන්න බැරි ඇයි?



ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක් වෙමින්, ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරද්දී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, තම අරමුණ වී ඇත්තේ, ඉරාන ජනතාවට, ඔවුන් තලා පෙළා පීඩාවට ලක් කරන එරට ඉස්ලාමීය රෙජීමයට එරෙහිව නැගී සිටීමට සහ ඉරාන ජනතාවට ඔවුන් රට යළි අත්පත් කර ගැනීමට ඉඩ සැලසීම බවය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හරහා, ඉදිරියේ දී ඇමෙරිකාවටත් ලෝකයටත් තර්ජනයක් වීම වැළැක්වීම ද තම අරමුණ බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ඉරාන පාලනය වෙනස් විය යුතු බවත්, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තමන්ට රිසි කෙනකු විය යුතු බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත. මැරුම් නොකා යටත් වන්නැයි ඇමරිකා ජනාධිපතිවරයා ඉරාන විප්ලවීය හමුදාවට සහ පොලිසියට අණ කර ඇත. එසේ වුවත්, ඉරාන විප්ලවීය හමුදාව හෝ පොලිසිය හෝ යටත් වන බවක් පෙනෙන්නට නැත. ඉරානය, දිගින් දිගටම අසල්වැසි අරාබි මැදපෙරදිග රටවල ඇමෙරිකන් ඉලක්කවලටත්, ඊශ්‍රායලයටත් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඇමරිකන් හමුදාව ඔවුන් සතු ඩොලර් මිලියන ගණනක් වටිනා මිසයිල ඇතුළු යුදෝපකරණ යොදා ගනිමින් ඉරානයට පහර පිට පහර එල්ල කළත්, ට්‍රම්ප් සිතන ආකාරයට ඉරානය අඩපණ කිරීම පහසු කාරණාවක් නොවන බවය. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ඝාතනය කිරීමෙන් පමණක් ඉරානය අඩපණ කළ නොහැකි බවය. ආරම්භ වුණු යුද්ධය කෙසේ අවසන් වේවිදැයි කීමට ට්‍රම්ප්ට හැකියාව නොමැති බවය.

ට්‍රම්ප් ඊශ්‍රායලය ද හවුල් කර ගනිමින්, ඉරානයට එරෙහිව, ‘ඔපරේෂන් එපික් ෆියුරි’ හමුදා මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 28 වැනිදාය. ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම හරහා මිනිත්තු 8 ක වීඩියෝවක් පළ කරමින්, ඒ ගැන පැහැදිලි කළේය. ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ ඉරානය එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස ‘ඔපරේෂන් එපික් ෆියුරි’ ආරම්භ කළ බව ට්‍රම්ප් කීවේය. ඇමරිකානු හමුදාවන්ට සහ මිත්‍ර පාර්ශ්වයන්ට තර්ජනයක් විය හැකි මිසයිල නිපදවන අතරතුර, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීම ප්‍රතික්ෂේප කරන බවට සිය වීඩියෝවෙන් ට්‍රම්ප් පෙන්වා දුන්නේය. 28 වැනිදා එල්ල කළ පළමු ප්‍රහාරයෙන්ම ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානයේ උත්තරීතර නායකයා මරා දැමීමට හැකිවිය. දශක ගණනක් තිස්සේ ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළේ අයතුල්ලා අලි කමේනීය. උත්තරීතර නායකයා යනු ඉරානයේ ප්‍රධානියාය. එසේ වුවත්, ට්‍රම්ප් අපේක්ෂා කළ පරිදි උත්තරීතර නායකයා ඝාතන කළ පලියට ඉරානය අඩපණ වූයේ නැත. ඉරාන පාලන තන්ත්‍රය ලෝකයේ සෙසු රටවල දේශපාලන පද්ධතිවලින් වෙනස්ම වූ එකක් වීම ඊට හේතුවය. ඉරාකයේ හෝ සිරියාවේ මෙන් නොවෙයි, එම රටවල රජයේ නායකයා නැතිනම් රෙජීමයේ ප්‍රධානියා (ජනාධිපති) ධුරයෙන් ඉවත් කිරීම යනු ඒ රෙජීමය අඩපණ වී කඩා වැටීමය. සමස්ත දේශපාලන පද්ධතියම අකර්මණ්‍ය වීමකි. ඒ අනුව, ආණ්ඩු පෙරළියක් කළ හැක. ඒත් ඉරානයේ දේශපාලන ව්‍යුහය එසේ නොවෙයි. ඉරාන පාලන තත්ත්‍රය යනු තනි පුද්ගලයකුගේ කෙරුවාවක් නොවෙයි. එය දේශපාලන පද්ධතියකි.

‘ඔබ පීඩාවට ලක් කළ රෙජීමය අවසන් කරන්න. පාලනය අතට ගන්න. නව පාලනයක් ස්ථාපිත කිරීම ඔබට බාරයි. අප මඟ හෙළි පෙහෙළි කරලා දෙන්නම්’ ට්‍රම්ප් දිගින් දිගටම ඉරාන වැසියන්ට පවසන්නේ මෙයයි. ඒත් මෙය හිතන තරම් සරල දෙයක් නොවෙයි. ඉරානයේ රෙජීමයේ වෙනසක් ඇති කිරීම යනු මුල් ඇදුණු අතු බෙදුණු මහ රූස්ස ගසක් ගලවනවා හා සමානය. එය පහසු නොවෙයි. ඊට හේතුව, ඉරානය ඔවුන්ගේ රජය ගොඩනගා ඇත්තේ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, රජය කඩා නොවැටෙන ආකාරයටය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධානියා උත්තරීතර නායකයා බව සැබෑය. ඉහළින්ම සිටින්නේ ඔහු බව ද සැබෑය. නමුත් රටේ පාලනය උත්තරීතර නායකයා යටතේ කොටස් තුනකට බෙදී යයි. බලය මධ්‍යගත කිරීමක් සිදුකර නැත. එම කොටස් තුන වන්නේ ජනාධිපතිවරයා, අධිකරණය සහ පාර්ලිමේන්තුවයි. ඉරානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී, අපේක්ෂකයන් නාම යෝජනා ඉදිරිපත් කළ විට, එම යෝජනා ඉරාන ආරක්ෂක මණ්ඩලයට (ආරක්ෂක සභාව) යොමු වෙයි. ඔවුන් අපේක්ෂකයන් තෝරා ඔවුන් ගැන විස්තර උත්තරීතර නායකයාට පවසයි. උත්තරීතර නායකයාගේ කැමැත්ත හිමිවන අපේක්ෂකයන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක. ජනාධිපති තෝරා ගැනීම ජනතා ඡන්දයෙන් සිදුවෙයි. ඉරාන පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝර ගැනීම සිදුවන්නේ ද මේ ආකාරයට ඉරාන ආරක්ෂක මණ්ඩලය සහ උත්තරීතර නායකයා හරහාය.

අධිකරණ පද්ධතිය සෘජුව ඇත්තේ උත්තරීතර නායකයා යටතේය. අධිකරණ පද්ධතියේ ප්‍රධානියා පත් කරන්නේ උත්තරීතර නායකයාය.  ආරක්ෂක මණ්ඩලයට සාමාජිකයන් 12 දෙනකු ඇතුළත් වෙයි. මේ 12 දෙනාගෙන් 6 දෙනකු ඉරානයේ ප්‍රධාන පෙළේ පූජකවරුන්ය. එම 6 දෙනා තෝරා ගැනීම සිදුකරන්නේ උත්තරීතර නායකයාය. ඉතිරි 6 දෙනා විද්වතුන්ය. මොවුන් තෝරා ගැනීම කරන්නේ අධිකරණයයි. අධිකරණය තෝරා ගන්නා එම හය දෙනාට අනුමැතිය ලබා දීම කරන්නේ පාර්ලිමේන්තුවය.

ඉරාන පාර්ලිමේන්තුවට සතු බලතල ඉහළය. පාර්ලිමේන්තුව සහ ආරක්ෂක මණ්ඩලය අතරේ ව්‍යවස්ථාමය කරුණු කාරණා සම්බන්ධයෙන් මත ගැටුම් හටගන්නා අවස්ථාවේදී, එය විසඳීමට මැදිහත් වන තවත් මණ්ඩලයක් නැතිනම් සභාවක් ඇත. මෙය උචිතතා නිර්ණායක සභාව යන නමින් හැඳින්වෙයි. මෙය විනිශ්චය මණ්ඩලයකි. පාර්ලිමේන්තුව සහ ආරක්ෂක මණ්ඩලය අතරේ හටගන්නා සියලුම ගැටුම්කාරී තත්ත්වයන් සමථයකට පත් කිරීමට මම සභාව පියවර ගනී. එමෙන්ම මෙම සභාවේ ප්‍රධාන කාර්යය වන්නේ උත්තරීතර නායකයාට උපදේශකයන් ලෙස කටයුතු කිරීමය.

ඉරාන ඉස්ලාමිය ජනරජය දෙමුහුන් දේශපාලන පද්ධතියකි. මෙය නිර්මාණය වූයේ 1979 ඉරාන විප්ලවයෙන් අනතුරුවය. ආණ්ඩු බලය විවිධ පාර්ශ්වයන් අතරේ බෙදී යෑමක් සිදු කර ඇත්තේ ඒ නිසාය. ඉරානයේ උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ කෙසේද? 1979 ඉරාන විප්ලවයෙන් පසු ඒ සඳහා ද විශේෂ සභාවක් ස්ථාපිත කර ඇත. මේ සභාව විශේෂඥ මණ්ඩලයයි. මෙම මණ්ඩලයේ සාමාජිකයන් 88 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන්ය. උත්තරීතර නායකයා තෝරා ගැනීම පමණක් නොව, ඔහු ගැන වගකීම දරන්නේ ද මෙම මණ්ඩලයයි. රටේ ව්‍යවස්ථාවට අනුව, ඉරාන උත්තරීතර නායකයා තමන්ගේ රාජකාරිය හරිහැටි නොකරන්නේ නම් හෝ ඔහුගේ තීන්දු තීරණ සැමවිටම නිවැරදි නොවන්නේ නම්, ඔහු බලයෙන් ඉවත් කර වෙනත් උත්තරීතර නායකයකු පත් කර ගැනීමේ බලය ඇත්තේ ද මෙම මණ්ඩලයටය. උත්තරීතර නායකයා මියගියහොත්, නව නායකයකු හැකි ඉක්මනින් තෝරා ගැනීම කළ යුත්තේ ද මෙම මණ්ඩලයයි. පසුගිය 28 වැනිදා කමේනී ඝාතනය වීමෙන් පසු නව උත්තරීතර නායකයකු තෝරා ගැනීමට මෙම මණ්ඩලය උත්සාහ ගනී. නමුත් ඒ සඳහා එහි සාමාජිකයන්ට රැස්වීම අසිරු වී ඇත. ඒ ඇමරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර දිගින් දිගටම එල්ල වන බැවිනි. ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායකයා තමන්ගේ අභිමතයට අනුව තෝරා ගැනීම කළ යුතු බවය. “සිරියාවේ ඉන්නේ මට හිතවත් ජනාධිපතිවරයෙක්. ඔහු එතැනට ගෙනාවේ අප (ඇමෙරිකාව). මට ඕනෑ ඉරානයේත් ඒ වගේ නායකයෙක් පහළ වෙනවාට.” යැයි ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් මෙසේ පවසන්නේ ඉරාන දේශපාලන පද්ධතිය ගැන කිසිදු අවබෝධයකින් නොවන බව පැහැදිලිය.

දැන්, ඉරානය පාලනය කරන්නේ ත්‍රිපුද්ගල කමිටුවක් මගිනි. ඒ, ජනාධිපතිවරයා, අධිකරණය සහ ආරක්ෂක මණ්ඩලය එක් වෙමිනි. අධිකරණය වෙනුවෙන් එහි ප්‍රධානියා සහ ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් එක් සාමාජිකයකුත් කමිටුවට එක් වී සිටිති. ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂ්කියැන්ය. උත්තරීතර නායකයා වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සිදුකරන්නේ මොවුන් තිදෙනාය. ඉරානය, මේ ආකාරයට දේශපාලන පද්ධතියක් සකස් කර ඇත්තේ ද උත්තරීතර නායකයා නැතිව පවා රටේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමටය. උත්තරීතර නායකයා නැහැයි කියා ඉරාන රෙජීමයේ බලය කිසි ලෙසකින් අඩු වීමක් සිදු නොවෙයි.

ඉරානයේ හමුදා දෙකකි. ලෝකයේ හමුදා දෙකක් ඇති එකම රට වන්නේ ඉරානයයි. මෙම හමුදා දෙක එකිනෙකට වෙනස් කාර්යභාරයන් ඉටු කරයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ යුද හමුදාව (Artesh) සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC - Sepah) යනු එම හමුදා දෙකය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ එරට සම්ප්‍රදායික ජාතික හමුදාවයි. මෙහි මූලික වගකීම වන්නේ ඉරානයේ භූමිය, ගොඩබිම, මුහුද සහ ගුවන් සීමාව බාහිර ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමය. මෙයට ගොඩබිම් හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක බලකාය යන අංශ හතරම ඇතුළත් වේ. මෙය ඉරානයේ ඉස්ලාමීය පාලනයට පෙර, ෂා රජුගේ පාලන යටතේ සිට පැවැත එන හමුදාවය. ඉරාන විප්ලවවාදීන්ට මෙම හමුදාව කෙරෙහි ලොකු විශ්වාසයක් පැවැතියේ නැත. ඒ අනුව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පිහිටුවීම සිදුවිය.

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය යනු 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද ඉතා බලගතු හමුදාමය සහ දේශපාලනික ඒකකය යැයි කීවොත් එය නිවැරදිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉරානයේ ඉස්ලාමීය පාලන ක්‍රමය ආරක්ෂා කිරීම සහ ඉරාන විප්ලවයට එල්ල වන අභ්‍යන්තර හෝ බාහිර තර්ජන මැඩපැවැත්වීමයි. ඇමෙරිකා හිතවාදීන් ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහිව විරෝධතා පවත්වද්දී පොලිාසිය සමඟ එක් වී එම විරෝධතා මර්දනය කරන්නේ ද මෙම හමුදාවය. මෙම හමුදාවට තමන්ගේම ගොඩබිම්, නාවික සහ ගුවන් අංශ පවතී. විදේශීය මෙහෙයුම් සඳහා කුඩ්ස් නමින් අතිරේක බලඇණියක් සහ බසීජ් නමැති ස්වේච්ඡා සන්නද්ධ කණ්ඩායමක් ද ඇතුළත් වෙයි. ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය සමඟත්, සිරියාවේ හූති සටන්කාමීන් සමඟත් සම්බන්ධකම් පවත්වන්නේ කුඩ්ස් සහ බසීජ් ය. මේ වනවිට ඇරිකාව සහ ඊශ්‍රායල හමුදා ඉරානයට පහර දේදදී, ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ද මෙම බලකායයි. දැන් උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු ඉරානය සතු මෙම හමුදා දෙකම, මෙහෙයවිම සිදු කරන්නේ ත්‍රිපුද්ගල කමිටුවක් මගිනි.

ඉරානයේ ඉස්ලාමීය පාලනය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නම්, ඇමෙරිකාව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සහ පොලිසිය ද මුළුමනින්ම අඩපණ කළ යුතුය. ට්‍රම්ප් පවසන අකාරයට මේ වනවිට ඉරානයේ ගුවන් හමුදාව, ගුවන් ආරක්ෂක පද්ධතිය ඇමරිකන් සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් විනාශ වී ගොස් අවසන්ය. ඉරාන විප්ලවීය හමුදාව පවසන ආකාරයට, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා කඳවුරු සියල්ලම පාහේ තම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අඩපණ වී ගොස් ඇත. පසුගිය දා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් විය. “යුද ගැටුම් උණුසුම් වෙනවා. ජනාධිපති ට්‍රම්ප් ඔබට යටත් වෙන්නැයි කියනවා. ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරන්න ට්‍රම්ප් සූදානම්. මොකද මේ ගැන කියන්නේ.” යැයි එක් නිවේදකයෙක් (ඇමෙරිකන් නිවේදකයෙක්) ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් විමසුවේය. “එන්න කියන්න ඇමරිකන් හමුදාව එනකල් තමයි අප බලන් ඉන්නේ. මට විශ්වාසයි ගොඩබිම සටනකදී ඇමෙරිකන් හමුදාව එක්ක හැප්පෙන්න අප ශක්තිමත්.” යැයි එම අවස්ථාවේදී ඉරාන විදේශ අමාත්‍යවරයා බොහොම සන්සුන් ලෙස පිළිතුරු දුන්නේය. ඊට අමතරව, ඉරානය කිසිම අවස්ථාවක යටත් වීමට සූදානම් නොමැති බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය. “අප බොහොම ගෞරවණීය ජාතියක්. අප කාගේවත් බලපෑම්වලට යටත් වන්නේ නැහැ. තර්ජනවලට යටත් වෙන්නේ නැහැ. අපට ගෞරවය දක්වන ආකාරයට අප පෙරළා ඕනෑම කෙනකුට ගෞරව කරනවා. ඇමරිකාවට බැහැ කිසිම දෙයක් අපට බල කරන්න.”

ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පහර දෙන්නේ එම රටවල ඇති ඇමරිකන් ඉලක්කවලටය. ඉරාන මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා හේතුවෙන් එම රටවල සිවිල් වැසියන්ගේ ජීවිතවලට ද හානි සිදුවී ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙන්ම ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියැන් ද මේ ගැන අසල්වැසි රටලට කනගාටුව පළ කර ඇත. “අපට ඔබ එක්ක තරහක් නැහැ. ගැටලුවක් නැහැ. ගැටුමක් නැහැ. අප පහර දෙන්නේ ඇමරිකන් ඉලක්කවලට. ඇමරිකාවට අපට පහර දෙද්දී අප ඔබේ රටවල ඇමෙරිකන් ඉලක්කවලට පහර දෙනවා. ඒක ඔබ හොඳින්ම දන්නවා. අපට පහර දුන්නොත් එහෙම දෙයක් වේවි අප ඔබට අනතුරු ඇඟවීමක් කළා. ඒක මුළු ලෝකයම දන්නවා. ඉතිං අපට කරන්න දෙයක් නැහැ. සිවිල් ජීවිත හානි ගැන අප කනගාටු වෙනවා” යැයි ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ලුසිත ජයමාන්න
අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS