ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වෙයි



ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වීමට සූදානම් බවත් සපයන ආරක්ෂාව වෙනුවෙන් නෞකාවලින් ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇති බවත් ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකින් එක් වෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

ඉරානයේ වරායන් වෙත පැමිණෙන නෞකා අවහිර කිරීම සඳහා නැවතත් යුද නෞකා යොදා ගනිමින් බාධකයක් පනවන බවද ඔහු පැවැසුවේය. ඇමෙරිකාව තෙවැනි දිනටත් ඉරානයේ වරාය නගර වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට පිළිතුරු ලෙස ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය බහරේනය, කුවේටය, ඕමානය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි.

බාධකය රාත්‍රී 8ට ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ සමග නැවත වරක් ඉරානයේ පාරිභෝගිකයන්ට එරට වරායන් වෙත පැමිණීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවැසුවේය. මෙතැන් සිට ඇමෙරිකාව ”‍හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා”‍ ලෙස හැඳින්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, සාධාරණත්වය පදනම් කරගනිමින්, ලෝකයේ ඉතා අස්ථාවර මෙම කලාපය තුළ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කාර්යය සඳහා දැරීමට සිදුවන සියලු‍ම වියදම් වෙනුවෙන් ආරක්ෂාව සපයන නෞකාවේ භාණ්ඩ වටිනාකමින් සියයට 20ක් ඇමෙරිකානු හමුදාව අයකරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

වහාම එම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවද ඔහු පැවැසුවේය. එම ප්‍රකාශයට දැඩිව ඉරානය විරෝධය පළකර ඇති අතර නැවැතත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලට පහර දීමද ආරම්භ කර තිබිණි. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නෞකා දෙකකට ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයෙකු මියගොස් ඇත.

ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් ගාස්තුවක් අය කිරීමේ යෝජනාවට සිය සංවිධානය දැඩිව විරුද්ධ වන බවයි. එයට නීතිමය පදනමක්ද නොමැති බවද එහි දැක්වේ.

ඉන්දීය නාවිකයකු මියයෑමත් සමග ඉන්දියාව ඉරාන තානාපතිවරයා කැඳවා තිබූ අතර එහිදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලට පහරදීම නතර කරන ලෙසට දැනුම් දී ඇත.


RECOMMEND POSTS