ඇමෙරිකාව පරදිනවා



මුලින් නොස්ත්‍රදාමුස් ගෙන් පටන් ගනිමු. නොස්ත්‍රදාමුස් යනු 16 වන සියවසේ ජීවත් වූ ප්‍රංශ ජාතික ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයකු සහ අනාගත වක්තෘවරයෙකි. නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ලොව ප්‍රකටය. එම අනාවැකි බොහෝවිට ලියා ඇත්තේ අපැහැදිලි, සංකේතාත්මක කාව්‍යමය ශෛලියකිනි. නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි කාලානුරූපව විවිධ ආකාරයෙන් අර්ථකථනය කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරයි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නකි. “නොස්ත්‍රදාමුස් ඔය ගැන මෙහෙම කියලා තියෙනවා, අරහෙම කියලා තියනවා” ආදී වශයෙන් එම අනාවැකිවලට නව අර්ථ කථනයන් එක් වෙයි.

2026 වසර සම්බන්ධයෙන් ද නොස්ත්‍රදාමුස් කළ අනාවැකි මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහකට ලක් වී අවසන්ය. ‘එක් වැදගත් පුද්ගලයකු හොඳින් එළිය ඇති විටෙක දී අකුණු පහරකින් මිය යනවා’, ‘මී මැසි පොදියක් ප්‍රහාරයකට එනවා සහ ‘නැව් හතක් මුල්කොට ගනිමින් මාරාන්තික යුද්ධයක් ආරම්භ වෙනවා’ ආදී වශයෙන් නොස්ත්‍රදාමුස් සඳහන් කර ඇත. මෙම අනාවැකි කාලානුරූපීව අර්ථ දක්වා ඇත්තේ අකුණු පහරට ලක්වන වැදගත් පුද්ගලයා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී බවය. පසුගිය 28 වැනිදා ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වූයේ ඊශ්‍රායලය ඔවුන් සතු බ්ලූ ස්පැරෝ නමැති අති බිහිසුණු මිසයිලයකින් අයතුල්ලා අලි කමේනී, ඔහුගේ පවුලේ සාමාජිකයටන් සහ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයන් එක පොදියට මරා දමමිණි. එය සිදුවූයේ උදෑසන කාලයේය. හොඳින් එළිය ඇති විටකය. ‘මී මැස්සන් පොදියක් ප්‍රහාරයකට එනවා’ යන්නෙන් අර්ථ දැක්වෙන්නේ, ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිත කිරීම බව පැවැසෙයි. සහ ‘නැව් හතක් මුල්කොට ගනිමින් මාරාන්තික යුද්ධයක් ආරම්භ වෙනවා’ යන්න හෝමූස් සමුද්‍ර සන්දියේ නිර්මාණය වී ඇති අර්බුදය යැයි අර්ථ දක්වා ඇත.

දැන් නොස්ත්‍රදාමුස් පැත්තකට දාමු. ඇමෙරිකාව ඉරානයට පහර දෙන බව කල් තියා ලොවට පැවැසූ මහාචාර්යවරයෙක් සිටී. ඔහු චීන ජාතික මහාචාර්ය ජියැන්ග් ෂුකිං (Jiang Xueqin) ය. මහාචාර්ය ජියැන්ග් ෂුකිං අනාවැකි පළ කරන්නේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව හෝ දෙවියන් සිහිනයෙන් ඇවිත් දුන් පණිවුඩ අනුව නම් නොවෙයි. ඔහු අනාවැකි පළ කරන්නේ භූදේශපාලන තොරතුරු විශ්ලේෂණය කරමින් සහ ඒවා එකිනෙක ගලවා විග්‍රහ කරමිනි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වී සිටින මහාචාර්ය ජියැන්ග් ෂුකිංට කැනඩා පුරවැසිභාවය හිමිය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ යේල් විශ්ව විදයාලයෙනි.

චීන අධ්‍යාපන ක්‍රමය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි පවතින දැඩි තරගකාරීත්වය සහ විභාග කේන්ද්‍රීය ඉහළ ඉලක්කයන් හේතුවෙනි. එහෙත්, මෙම සාම්ප්‍රදායික රාමුව තුළ සිටිමින්, එම පද්ධතියේ පවතින මූලික දුබලතා පෙන්වා දෙමින්, නිර්මාණශීලී අධ්‍යාපනයක් වෙනුවෙන් හඬක් නැගූ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයකු ලෙස මහාචාර්ය ජියැන්ග් ෂුකිං සැලකෙයි. දශක ගණනාවක් පුරා චීන පාසල් පද්ධතියේ ඉහළ තනතුරු දරමින්, යන්ත්‍ර මෙන් තොරතුරු කටපාඩම් කරන සිසුන් පිරිසක් වෙනුවට ස්වාධීනව සිතන, ප්‍රශ්න කරන පරපුරක් නිර්මාණය කිරීමට වෙහෙස මහන්සි වන විද්වතෙකි.

මහාචාර්ය ජියැන්ග් ෂුකිං යනු හුදෙක් ගුරුවරයකුට වඩා ඔබ්බට ගිය, රටක අනාගතය පිළිබඳව පුළුල් දැක්මක් ඇති බුද්ධිමතෙකි. තරගකාරී විභාග සඳහා සිසුන් සූදානම් කිරීමෙන් රටක සැබෑ නායකයන් බිහි නොවන බවත්, ඒ වෙනුවට සිසුන්ට ලෝකය දෙස විවෘතව බැලීමට සහ විවිධත්වයට ගරු කිරීමට ඉඩ දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ඔහුගේ මෙම අදහස් අප ශ්‍රී ලංකාව වැනි, තවමත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කරන රටකට වුවද බොහෝ දේ උකහා ගත හැකි පාඩම් සපයයි. අනාගත ලෝකය ජය ගත හැක්කේ ලකුණු මගින් නොව, දැනුම සහ නිර්මාණශීලී චින්තනය තුළින් පමණක් බව ඔහු අපට පසක් කර දෙයි. ‘ඔබ කැමති නම් මා කියන දේ අහන්න. කැමති නං පමණක් ඊට කන් දෙන්න. ඒක පිළිගන්නවාද නැද්ද ඔබේ තීරණයක්.’ මේ මහාචාර්ය ජියැන්ග් ෂුකිං සැමවිටම අපට කියන්නේ මෙයයි.

2024 යනු ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැති වසරය. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ නොවැම්බර් පස් වැනිදාය. ට්‍රම්ප් එයින් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. 2024 උදා වෙද්දී, මහාචාර්ය ජියැන්ග් ෂුකිං අනාවැකි තුනක් ලොවට ඉදිරිපත් කළේය. එම අනාවැකි තුන කෙරෙහි ලෝකයේ කාගේත් අවධානය මේ වන විට යොමු වී තිබේ. ඒ, මහාචාර්ය ජියැන්ග් ෂුකිං ජනප්‍රිය චරිතයක් බවට පත් කරමිනි. සමාජ මාධ්‍ය ඔස්සේ; විශේෂයෙන් යූ ටියුබ් හරහා එම ඔහුගේ වීඩියෝ නැරැඹීමට හැකිය. 2024 වසරේ දී ඔහු කළ අනාවැකි තුන නැරැඹීමට ද පුළුවනි. “මම ප්‍රධාන පෙළේ අනාවැකි තුනක් කියන්න කැමතියි. පළමු අනාවැකිය තමයි නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් දිනනවා. දෙවැනි අනාවැකිය තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය එක්ක යුද්ධ කරනවා. තෙවැනි අනාවැකිය තමයි ඇමෙරිකාව මේ යුද්ධයෙන් පරදිනවා. ඇමෙරිකාව යුද්ධයෙන් පරදිනවා පමණක් නොවෙයි, අපේ ලෝකය මේ යුද්ධය නිසා වෙනස් වෙනවා. අපේ ජීවන රටාව අප නොසිතන ආකාරයකට මුළුමනින්ම වෙනස් වෙනවා.” මේ, 2024 වසර මුලදී මහාචාර්ය ජියැන්ග් ෂුකිං ඔහුගේ දේශපාලන විද්‍යාව හදාරන සිසුන් හමුවේ කළ අනාවැකි ත්‍රිත්වයයි.

ප්‍රශ්නය - මහාචාර්යතුමා, ඔබ 2024 වසරේ අනාවැකි තුනක් ඉදිරිපත් කළා. එයින් දෙකක් දැනටමත් සැබෑවක් වෙලා අවසන්. තුන්වැනි අනාවැකිය ටිකක් බරපතල එකක්. ඇමෙරිකව යුද්ධයෙන් පරදිනවා යැයි ඔබ කියනවා. ඔබ තවමත් ඉන්නේ ඒ මතයේද? ඇමෙරිකාව යුද්ධයෙන් පරාජය වේවිද?

මහාචාර්ය ජියැන්ග් ෂුකිං - යුද්ධය දිග් ගැස්සෙන ආකාරය අනුව, කරුණු කාරණා විශ්ලේෂණය කළොත් පැහැදිලියි, වැඩි වාසි තියෙන්නේ ඇමෙරිකාවට නොවෙයි, ඉරානයටයි. යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. ඉරානය ඇමෙරිකාව එක්ක යුද්ධයකට සූදානම් වුණේ අද ඊයේ නොවෙයි. අවුරුදු 20 ක් තිස්සේ ඉරානය ඇමෙරිකාව එක්ක යුද්ධකට සූදානම් වුණා. ඉරානයේ ආගමික විශ්වාසයට අනුව, ඔවුන් සටන් වදින්නේ මහා සාතන් සමග. ඔවුන් ඇමෙරිකාව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වන්නේ මහා සාතන් යනුවෙන්. මහා සාතන් (Great Satan) යන්න පර්සියානු භාෂාවෙන් ‘ෂෙයිතාන්-ඉ බොසොර්ග්’ (Shaytan-e Bozorgh) වෙයි. ඉස්ලාම් දේවධර්මයට අනුව සාතන් යනු මිනිසුන්ව වැරදි මාවතට යොමු කරන, නොමඟ යවන සහ අනුන්ව සූරාකන බලවේගයකි. ඉරාන පාලනය ඇමරිකාව දෙස බලනුයේ එවැනිම දෘෂ්ටියකිනි. ඉතිං, ඇමෙරිකාව සමග යුද්ධයකට යන්න ඉරානය අවුරුදු 20 ක් පුරුදු පුහුණු වුණා. පසුගිය 2025 ජූනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙක පැටලුණා. දින 12 ක යුද්ධයක් පැවැතුණා. එය අවසන් වුණේ ඇමරිකාව මැදිහත් වෙලා ඊශ්‍රායලයට සහාය දක්වමින්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමෙන් පසුවයි. එම දින 12 ක කාලයේ ඉරානයට හැකියාව ලැබුණා. ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ප්‍රහාරවල තරම, ප්‍රහාර සිදුවන ආකාරය, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ යුද ශක්තිය අධ්‍යයනය කරන්න. විශ්ලේෂණය කරන්න. ඉන්පසු පසුගිය පෙබරවාරි 28 දක්වා තෙක් කාලය ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට සමග යුද්ධයකට යන්න ඉරානය හොඳින් සූදානම් කෙරෙව්වා. ඉතිං ඇමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරද්දී ඉරානය සිටියේ ඊට මුහුණ දෙන්න හොඳ සූදානමකින්.

අසල්වැසි රටවල ඉන්නවා ඉරාන හිතවාදී සටන්කාමී සංවිධාන. ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති, ගාසා තීරයේ හමාස්, ඉරාකයේ ෂියා සටන්කාමීන් ආදී වශයෙන්. ඇමෙරිකන් හමුදාව ක්‍රියා කරන ආකාරය, ඇමෙරිකන් අධිරාජ්‍යය ක්‍රියා කරන ආකාරය, ඇමෙරිකානුවන්ගේ මානසිකත්වය ගැන ඉරානයට පමණක් නොවෙයි මේ සටන්කාමීන්ටත් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඉරානය කරන්නේ ලෝක ආර්ථිකයට එරෙහිව යුද වැදීමයි. ඔවුන් අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට පහර දෙනවා. හේතුව, එම රටවල් ඇමෙරිකන් හිතවාදී නිසා. ඇමෙරිකන් හමුදා කඳවුරු එම රටවල තිබෙන නිසා. එම රටවල් ඇමෙරිකාවේ ආර්ථිකයට ඉතා වැදගත් නිසා.

මුලින් ඉරානය පහර දුන්නේ ඇමෙරිකන් හමුදා කඳවුරු ඉලක්ක කර ගෙන පමණයි. පසුව ඉරානය එම රටවල බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර ගන්න වුණා. හෝමූස් නැව් ගමනා ගමන කටයුතු නවත්වා දැම්මා. ගල්ෆ් රටවල ජල පිරිපහදු ඉරානයේ අවසන් ඉලක්කය වේවි. ගල්ෆ් රටවල ජීව නාලිය එයයි. මේ රටවලට පිරිසිදු වතුර ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඉරානයේ ඩ්‍රෝන යානා සෞදියේ රියාද් නුවර ජල පිරිපහදු ඉලක්ක කර ගත්තොත් සිදුවන විනාශය කොතරම්දැයි කියන්න බැහැ. රියාද් නුවර පමණක් මිලියන 10 කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. සති දෙකක් යද්දි ඔවුන්ට බොන්න වතුර නැති වේවි. ඉරානය හෝමූස් වසා දැම්මා. ගල්ෆ් රටවලට අවශ්‍ය ආහාරවලින් සියයට 90 ක් ඔවුන්ට ලැබෙන්නේ හෝමූස් හරහා. ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මේ වන විට සෞදියේ, කටාර් රාජ්‍යයේ, එමිරේට්ස් රාජ්‍යයේ සහ බහරේනයේ පැවැත්මට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා.

කලින් සඳහන් කළ පරිදි, ඇමෙරිකානු ආර්ථිකය රඳා පවතින්නේ මේ ගල්ෆ් රටවල් මත. ප්‍රෙටෝඩොලරය මත. ලෝකයේ බොරතෙල් මිලදී ගැනීමේදී ගෙවීම් සඳහා භාවිත කරන ඇමෙරිකානු ඩොලරය ප්‍රෙටෝඩොලරයයි. 1970 දී ඇති වූ එකඟතාවකට අනුව, බොරතෙල් අපනයනය කරන රටවල් (ප්‍රධාන වශයෙන් ඔපෙක් සංවිධානයට අයත් ගල්ෆ් කලාපීය රටවල්), තමන් විකුණන තෙල් සඳහා ගෙවීම් ලබා ගන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනි. මෙහිදී ඩොලරය යනු හුදෙක් මුදල් ඒකකයක් පමණක් නොව, ගෝලීය බලශක්ති වෙළඳාමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්ව තිබෙනවා.

වර්තමානයේ ඇමෙරිකන් ආර්ථිකය ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි ව්‍යාපාර මත රැඳී පවතිනවා. ගල්ෆ් රටවල තමයි ඊට අදාළ ඩේටා සෙන්ටර් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගල්ෆ් රටවලට තමන්ගේ තෙල් විකුණා ගන්න බැරි තත්ත්වයක් උදා වුණොත්, ඔවුන්ට මුදල් යොදවන්න බැරි වෙනවා, ඒ.අයි. සහ අනෙකුත් ක්ෂේත්‍රවලට. ඇමෙරිකානු ආර්ථිකය පිපිරීමකට ලක් වෙන්න මෙය හේතුවක් වේවි. ඇමෙරිකානුවන් මේ වන විට යුද්ධය නිසා මුහුණ දෙන දරුණුම තත්ත්වය වන්නේ මෙයයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඇමසොන් සමාගමේ ඩේටා සෙන්ටර් (දත්ත මධ්‍යස්ථාන) ඉලක්ක කර ගනිමින් පසුගිය දා ප්‍රහාර එල්ල වුණා. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් බොහොමයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තමයි ඔවුන්ගේ ආයෝජන කරගෙන යන්නේ. යුද්ධය නිසා මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය බිඳ වැටෙනවා කියන්නේ ප්‍රෙටෝ ඩොලරයේ අවසානයයි. ඒ නිසා ඇමෙරිකාව මෙම රටවල් ආරක්ෂා කර ගත යුතු වෙනවා.

ඇමෙරිකානු හමුදාව, විසි එක් වැනි සියවසේ යුද්ධයකට සූදානම් පිරිසක් නොවෙයි. ඇමෙරිකා හමුදාව වඩ වඩාත් ශක්තිමත් වුණේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. හමුදාව නිර්මාණය වූයේ නිරවි යුද සමයේ දී ඇමෙරිකාවේ යුද ශක්තිය පෙන්වමින්. නිරවි යුද්ධය කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම තම ශක්තිය නැතිනම් බලය පෙන්වීමක්. ශක්තිවන්තයා කවුරුන්දැයි පෙන්වීමක්. නිරවි යුද සමයේ දී තමයි ඇමෙරිකාව සහ සෝවියට් දේශය ඔවුන්ගේ න්‍යෂ්ටික බලය පෙන්නුවේ. මිසයිල තාක්ෂණය පෙන්නුවේ. අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් තරග වැදුණේ. අන්තිමේදී එම තරගය ජය ගත්තේ ඇමෙරිකාව. ඒ සඳට මිනිසුන් යවමින්. ඇමෙරිකන් රජය මිල අධික සංකීර්ණ තාක්ෂණය ඔවුන්ගේ හමුදාව සමග ඒකාබද්ධ කර තිබෙනවා. ඇමෙරිකා මිසයිල තාක්ෂණය උසස්. ඒ වගේමයි එය මිල අධිකයි. මිලියන ගණනක් වැය කරමින් ප්‍රති මිසයිල නිපදවීම සිදුවෙනවා. ඇමෙරිකන් ඩොලර් 50,000 ක් තරම්වත් නැති නියමුවන් රහිත සතුරු ඩ්‍රෝන විනාශ කරන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරක මිසයිලවලට වඩා ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සතුරු මිසයිල අඩපණ කරන මිසයිල නිර්මාණය කිරීම ඉතාමත් මිල අධික කාරණාවක්.

ප්‍රශ්නය: මේ මොහොතේ ජනාධිපති ට්‍රම්ප් මෙන්ම, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් පවසා තිබෙනවා, ඉරානයට ඇමෙරිකන් හමුදා යවන්න. ගොඩබිම් සටන් සඳහා. ගුවන් ප්‍රහාරවලින් පමණක් ඉරානයේ රෙජීමය පෙරළීමට ඇමෙරිකාවට නොහැකි බව පැහැදිලියි. ඒ නිසා දැන් යුද්ධය නව අදියරකට අවතීර්ණ වේවි. මේ ගැන ඔබේ අදහස දැන ගන්න කැමතියි?

මහාචාර්ය ජියැන්ග් ෂුකිං - ඉරානය ගොඩබිම් හමුදා යැවීම ඇමෙරිකාව ගන්නා වැරදිම තීරණය වේවි. ඇත්ත. කිසිම ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ගුවන් ප්‍රහාරවලින් කිසිම රටක රෙජීමයක් (පාලනයක්) පෙරළා දැමීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඒ නිසා ඉරානය යටත් කරගන්න නම්, ඇමෙරිකාවට ගොඩබිමින් හමුදාව යැවීම කළ යුතු වෙනවා. ඒත් එහෙම කළොත් එය ඇමෙරිකාවට වාසිසහගත වෙන්නේ නැහැ. මේ වන විටත් ඉරානයේ ප්‍රතිප්‍රහාරවලින් ගල්ෆ් කලාපීය රටවල් ඒ කියන්නේ සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය හෙම්බත් වෙලා ඉන්නේ. ඉරානයට ගොඩබිම් හමුදා යවන්න ඔවුන් පවා ඇමෙරිකාවට බල කරනවා. පෙට්‍රෝඩොලරය නිසා මේ රටවල් කියන දේ ඇමෙරිකාවට කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. ඊශ්‍රායලයත් කැමතියි ඇමෙරිකන් හමුදා සමග ඔවුන්ගේ හමුදා ඉරානයට යවන්න. ඉරානයෙන් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල වෙනවා. ඒක ඊශ්‍රායලය අපේක්ෂා කළ දෙයක් නොවෙයි.

ඉරානයේ ඉල්ලීම්වලට කන් දී ඇමෙරිකාවට පුළුවන් යුද්ධය දැන්ම නවත්වන්න. ඒ වෙනුවෙන් ඔවුන්ට කිසියම් විදියේ අල්ලසක් දෙන්න පුළුවන්. ට්‍රිලියන පහක වන්දි මුදලක් වගේ දෙයක්. ඒත් ජනාධිපති ට්‍රම්ප් එහෙම කරන්නේ නැහැ. ඔබ සඳහන් කළ විදියට ට්‍රම්ප් ඉරානය සුන්නද්ධූලි කරන්න ඇමෙරිකන් ගොඩබිම් හමුදා යවන්නයි සූදානම. මා දන්නා විදියට ඇමෙරිකන් වැසියන් මේකට කැමැත්තක් දක්වන්නේ නැහැ. සමීක්ෂණවලින් පැහැදිලියි ඇමෙරිකානුවන්ගෙන් සියයට 78 ක් මේ යුද්ධයට දැනටමත් අකමැත්ත පළ කර අවසන්.

ප්‍රශ්නය: ට්‍රම්ප් ඊශ්‍රායලය එක්ක හවුලේ ඉරානයට පහර දුන්නේ එසේ කරන්නැයි සෞදිය දිගින් දිගටම බල කළ නිසා යැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒක ඇත්තද?

මහාචාර්ය ජියැන්ග් ෂුකිං  - සෞදිය ප්‍රසිද්ධියේ ඒක පිළිගන්නේ නැහැ. සෞදිය සහ ඉරානය අතර පසුගිය කාලයේ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගුණු බව ඇත්ත. නමුත් සුන්නි සහ ෂියා මුස්ලිම් වශයෙන් පවා සෞදිය සහ ඉරානය අතරේ බෙදීමක් නැතිනම් විරසකයක් තියෙනවා. යේමනයේ පාලනය සෞදි හිතවාදී එකක්. ඒත් හූතිවරුන් ඊට එරෙහිව යනවා. හූතිවරුන් ෂියා මුස්ලිම් ඔවුන්ට සහාය දක්වන්නේ ඉරානය බව රහසක් නොවෙයි. ඒ නිසා මා නිතරම කී දෙයක් තමයි ඉරානයේ රෙජීම වෙනසක් ඊශ්‍රායලය පමණක් නොවෙයි, සෞදියත් අපේක්ෂා කරනවා. මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවි ඇති රට ඊශ්‍රායලයයි. ඒත් සෞදිය ඊශ්‍රායලයට වඩා ඉරානයට බයයි. ඉරානය සහ පාකිස්තානය අතරේ යහපත් සබඳතා තිබෙනවා. ඒත් පසුගිය කාලයේ සෞදිය සහ පාකිස්තානය අතරේ නව ගිවිසුමක් අත්සන් කෙරුණා. යුද්ධයකදී සෞදිය උදවු ඉල්ලන්නේ නම් පාකිස්තානය සෞදියේ සහායට හමුදාව එවිය යුතුයි. මේක තමයි ඒ ගිවිසුමට අදාළ කොන්දේසිය. අමතක කරන්න හොඳ නැහැ. පාකිස්තානය න්‍යෂ්ටික අවි ඇති රාජ්‍යයක්.

ප්‍රශ්නය: ඇමෙරිකාව හමුදා යැව්වොත් මොකද වෙන්නේ?

මහාචාර්ය ජියැන්ග් ෂුකිං  - ඇමෙරිකාව ඉරානයට ගොඩබිම් හමුදා යැව්වොත්, ආපසු හැරෙන්න බැහැ. එය නිශ්චිත වශයෙන්ම තවත් වියට්නාමයක් වේවි. භූ ගෝලීය වශයෙන් ඉරානය කඳුවලින් වටවෙලයි තියෙන්නේ. බලකොටුවක් වගේ. ඇමෙරිකන් හමුදා භටයන්ට ආරක්ෂිතව ඉරානයට ගොඩබෑම පවා පහසු වෙන්නේ නැහැ. ඔවුන් දැඩි ලෙස ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රහාරවලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන්නේ ගරිල්ලා යුද්ධයකට. ඒ වගේමයි, දීර්ඝ කාලීන යුද්ධයකට ඇමෙරිකාව කැමැති වෙන එකක් නැහැ. මේ ට්‍රම්ප් ජනාධිපතිගේ දෙවැනි සහ අවසන් ධුර කාලයයි. ඉදිරියේ දී මධ්‍යවාර මැතිවරණ තිබෙනවා. ඒක ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වේවි. රට යුද්ධයකට මුහුණ දී මැතිවරණ පැවැත්වීම ගැටලුවක් වුණොත්, රටේ ව්‍යවස්ථාව අභිබවා යෑමේ තීන්දු තීරණ ගැනීමට හැකි වේවි. සමහර විට තෙවැනි ධුර කාලයක් ජනාධිපති ලෙස කටයුතු කරාවි. කවුරු අකමැති වුණත් ඔහු ඒකට කැමැති වේවි. ඒක මට විශ්වාසයි.

මේ වෙද්දි යූඑස්එස් ට්‍රිපොලි යුද නැව මධ්‍යධරණී මුහුදට සේන්දු වී අවසන්. නැවේ නිවැරදි පිහිටීම රහසක්. මේ නැවේ ඉන්නවා ගොඩබිම් හා සාගර සටන්වල අති පුහුණුවලත් මැරීන් සෙබලුන් 2200 කට අධික ප්‍රමාණයක්. ඒ වගේමයි ගොඩබිම් මෙහෙයුම්වලට බහුලව භාවිත කරන ඒ 10 වෝතොග් අටෑක් ජෙට්ස්, ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් සහ මුහුදේ අතුරන බෝම්බ විනාශ කර දැමිය හැකි කුඩා යාත්‍රා ද මේ නැවට ඇතුළත් වෙනවා. එපමණක් නොවෙයි, ඇමෙරිකානු පස් වන නාවික බළගණය සහ හත්වන බළගණක කලාපයේ රැඳී ඉන්නවා. ඒ කියන්නේ 40,000කට අධික සෙබළ බළගණයක් මේ වෙද්දි මැදපෙරදිග ආසන්නයේ ස්ථානගත වෙලා ඉන්නේ. ඒ ඔවුන්ට අණ ලැබෙනකල් බලාගෙන. ඉදිරි දින කීපය අප කාට කාටත් අතිශය තීරණාත්මක වේවි.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS