ඇමෙරිකාව - ඉරානය යළි පැටළෙයි



 

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකා තුනකට ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකන් ගුවන් හමුදාව යළිත් වරක් ඉරානයට පහර දුන්නේය. 

ඇමෙරිකන් හමුදාව පැවැසුවේ, ඉරානයේ ඉලක්ක 80 කට ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එම ඉලක්ක 80 ට විප්ලවීය හමුදාවට අයත් කුඩා නාවික යාත්‍රා 60 ක් ද ඇතුළත් බවය.

ඇමෙරිකාව එල්ල කළ එම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය අසල්වැසි අරාබි රටවල ඇමෙරිකන් හමුදාවේ ඉලක්ක 85 කට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

ඉරානය පැවැසුවේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තමන් ඇමෙරිකන් හමුදා ඉලක්කවලට පහර දුන් බවය.

බහරේනයේ ඇමෙරිකන් හමුදාවේ පස්වැනි බලඇණියට අයත් ෂෙයික් ඊසා ගුවන් කඳවුරකට සහ කුවේටයේ අලි අල්-සලම් ගුවන් කඳවුරට ඉරානය මෙසේ පහර දුන් බව පැවැසෙයි.

ඉරාන විප්ලවීය හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවලට මිසයිලවලින් පහර දුන්නේ ​ඉකුත් 7 වැනිදාය.

ප්‍රහාරයට ලක් වුණු එක් නෞකාවක් ඕමානයේ සිට ආ බව පැවැසෙයි. ඉරාන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් එම නෞකාව ගිනිගෙන විනාශ වුණු බව ද මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවත් ඉරානයත් මේ වනවිට අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමට අනුව, දෙපාර්ශ්වය අතරේ ඇති ගැටුම් අවසන් කර සාම වැඩපිළිවෙළකට යෑමට දින 60 ක කාලයක් හිමිවෙයි.

කෙසේ නමුත් විටින් විට දෙපාර්ශ්වය අතර ගැටුම් හටගැනීම අවබෝධතා ගිවිසුමට බාධාවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා නගා ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදාව ඉරානයේ ඉලක්කවලට පහර දීම එම අවබෝධතා ගිවිසුම උල්ලංගනය කිරීමක් බවය. 

ඇමෙරිකන් ගුවන් හමුදාව, දකුණු ඉරානයට අයත් කෂීම් දූපතේ ඉලක්කවලටත්, බන්ඩාර් අබ්බාස් සහ සර්රික් යන ප්‍රදේශවල ඉලක්කවලටත් ප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය හමුදාවට අයත් හමුදා කඳවුරු, හමුදා මූලස්ථාන විනාශ වූ බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදාව ඉරානයට එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරය මෙය යැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටියත්, ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සම්බාධක ඉවත් කිරීමේ අදහස අත්හැර දැමුණු බව ද වාර්තා වේ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දෙද්දී, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වෙද්දීය.

අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් අප්‍රේල් 28 වැනිදා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයෙනි. කමේනීගේ අවසන් කටයුතු පැවැත්වීම මාස ගණනක් ප්‍රමාද වූයේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ පැවැති යුද උණුසුම හේතුවෙනි.

මේවනවිට කමේනීගේ දේහය මේ වනවිට ඇත්තේ අසල්වැසි ඉරාකයේය. දේහය ඉරාකයේ නජාෆ් නුවරට රැගෙන යෑම සිදුවිය. ඉරානය යනු ලොව ෂියා මුස්ලිම් බහුතරයක් සිටින රාජ්‍යයයි. ඉරාකයේ නජාෆ් නුවර යනු ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ නගරයවලින් එකකි.

කමේනීගේ දේහය නජාෆ් නුවරට රැගෙන යෑම සිදුවූයේ ආගමික චාරිත්‍රවලට අනුවය. ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ද නජාෆ් නුවරට ගොස් සිටි අතර, ඇමෙරිකන් ප්‍රහාරය සැලවුණු සැණින් ඔහු සැණින් යළි ඉරානයේ තෙහෙරාන් අගනුවර බලා පැමිණි බව ද ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS