ඉරානයට නව උත්තරීතර නායකයෙක්



ඉරාන ඉස්ලාමීය ජනරජය එර​ට නව උත්තරීතර නායකයා ලෙස, ඝාතනට ලක්වුණු අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයා වන මොජ්තාබා කමේනි තෝරා පත් කර ගත්තේය.

ඊට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානයේ නව උත්තරීතර නායකයා පත් විය යුත්තේ තම අභිමතය පරිදි බවත්, මොජ්තාබා ට වැඩිකල් එම ධුරයේ රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත්, පියා අයතුල්ලා අලි කමේනීට අත්වුණු ඉරණම ඔහුට ද අත්වනු ඇති බවත්ය.

මොජ්තාබා කමේනි යනු ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ​දෙවැනි පුත්‍රයාය. පියා අයතුල්ලා අලි කමේනී මෙන්ම, දැඩි මතධාරියකු වන 56 හැවිරිදි මොජ්තාබා කමේනි, සිය පියා යටතේ ඉරාන ආරක්ෂක අංශ තුළ විශාල බලපෑමක් සහිතව කටයුතු කළ අයකු  බව පැවැසෙයි.

ඊට අමතරව, ඔහු දැවැන්ත ව්‍යාපාර ජාල මෙහෙයවන පූජකවරයකු ලෙස ද ප්‍රකටය. ඉරාන රජයට එරෙහිව ඉරාන වැසියන් විරෝධතා පවත්වද්දී, ඔවුන් නිර්දය ලෙස මර්දනය කිරීමට උපදෙස් දුන් තැනැත්තකු ලෙස ද මොජ්තාබා කමේනි සැලකෙයි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඉහළින්ම සිටින්නේ උත්තරීතර නායකයාය. උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ ඉරාන විශේෂඥ සභාව මගිනි. මෙය එරට ප්‍රධාන පෙළේ පූජකවරුන් 88 දෙනකුගේ සැදුම්ලත් කණ්ඩායමකි.

කමේනිගේ ඝාතනයෙන් පසු අනුප්‍රාප්තිකයකු ලෙස මොජ්තාබා කමේනි පත්කර ගැනීම සිදුවූයේ එම සභාවේ පැවැතිවුණු ඡන්ද විමසුමෙනි. බහුතරයේ කැමැත්ත ඔහුට හිමිවිය. සභාව රැස්වූයේ රහසිගතවය. ඒ, ඇමරිකාවෙන් හෝ ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පැවැති බැවිනි.

අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉරාන උත්තරීතර නායකයා විය යුතු යැයි කාගේත් අදහස වී තිබුණේ කමේනීගේ වැඩිමල් පුත්‍රයා මුස්තාෆා කමේනී ය. කෙසේ නමුත් ඉකුත් 28 වැනිදා අයතුල්ලා අලි කමේනී ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පහර දෙද්දී. කමේනීගේ වැඩිමල් පුත්‍රයා මුස්තාෆා ද ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, ඉරාන රජයේ හමුදාව සහ ඉරාන ඉස්ලාමීය පාලනයට හිතවත් විප්ලවීය හමුදාව මෙන්ම ඉරාන පොලිසිය ද ප්‍රතිඥා දී ඇත්තේ තමන් නව උත්තරීතර නායකයා ලෙස තේරී පත් වුණු මොජ්තාබා කමේනි​ ට සහාය දක්වන බවය.


RECOMMEND POSTS