දැනුම අරන් පොත් වනසන කෘත්‍රිම බුද්ධිය



ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්, ඔවුන් නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධි (AI) වැඩසටහන් සාර්ථක කර ගැනීමට, අසාමාන්‍ය මෙන්ම පුදුම සහගත ක්‍රමයක් අනුගමනය කරමින් සිටී. ඒ, ලොව පුරා ඇති මුද්‍රිත පැරණි පොත් මිලියන ගණනින් තොග වශයෙන් මිලදී ගෙන ඒවා ස්කෑන් කර, දැනුම කෘත්‍රිම බුද්ධි වැඩසටහන්වලට කවා, ඉන්පසු පොත් විනාශ කිරීමය. එවිට ඒ, දැනුම ඉතිරි වන්නේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන්වල පමණි.

මෙය බිහිසුණු තත්ත්වයක් බව ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාව පවසයි. කෘත්‍රිම බුද්ධි (AI) වැඩසටහන් අතරේ පවතින තරගකාරීත්වය හමුවේ, තාක්ෂණික සමාගම් එකිනෙකා පරයා යෑමට උත්සාහ ගන්නා බැවින් ගුණාත්මක, ගැඹුරු සහ වටිනා සාහිත්‍යමය අන්තර්ගතය සහිත පැරණි පොත් මෙසේ මිලදී ගෙන, ඒවායේ අන්තර්ගතය කෘත්‍රිම බුද්ධි වැඩසටහන්වලට දී, පසුව එම පොත් විනාශ කරන බව ‘ෆෝබ්ස්’ සඟරාවේ ලිපියක දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් ලොව කාගේත් අවධානය මේ වනවිට යොමු වී ඇති අතර, කෘත්‍රිම බුද්ධියේ දියුණුව වෙනුවෙන් අප මනුෂ්‍ය සාහිත්‍යයේ සහ මුද්‍රිත ඉතිහාසයේ මුල්පිටපත් මෙලෙස බිලිදීම කොතරම් දුරට සදාචාරාත්මක සහ සාධාරණ ද යන්න දැන් සමාජය තුළ බරපතළ සංවාදයක් මතු වී අවසන්ය.


RECOMMEND POSTS