අපේ යෝධයා



අතීතයේ මිහිමත ඇවිද ගිය දැවැන්තම ක්ෂීරපායී සත්වයකු ලෙස සැලකෙන්නේ පැලියොලොක්සොඩොන් නැමඩිකස් (Palaeoloxodon namadicus) හෙවත් ආසියානු ඍජු දළ ඇතාය. කුඩා නිවසක ප්‍රමාණයට සමාන සිරුරක් හිමි මේ යෝධ ඇත් රජු, මීට වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ, අප ශ්‍රී ලංකාවේ ඝන වනාන්තර සහ තණබිම් සිය අණසකට නතු කරගෙන සිටි බව පැවැසෙයි.

වර්තමානයේ අප දකින අප්‍රිකානු සවානා අලි ඇතුන් සාමාන්‍යයෙන් අඩි 10ක් පමණ උසින් යුක්ත වන අතර බර ටොන් 6ක් පමණය. එහෙත්, මෙම ප්ලයිස්ටෝසීන යුගයේ යෝධයා උරහිස දක්වා අඩි 17ක පමණ උසකින් යුක්ත වූ අතර බර ටොන් 22ක් තරම් විය. උගේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වූයේ සිරුරට වඩා ඉදිරියට නෙරා ආ දැවැන්ත ඍජු දළ යුගල සහ නළල මත පිහිටි Parieto-occipital crest නමින් හැඳින්වෙන නෙරා ආ අස්ථිමය වැටියයි.

මෙම දැවැන්තයන් ශ්‍රී ලංකාවේත් විසූ බවට සාක්ෂි හමුවන්නේ 1936 වසරේදීය. මෙරට සුප්‍රකට පාෂාණධාතු විද්‍යාඥයෙකු වූ පී.ඊ.පී. දැරණියගල මහතා සින් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලින් හමු වූ හනුවල කොටස් සහ දත් ඇසුරින් නව උප විශේෂයක් නම් කරන ලදී. ඔහු එය නම් කළේ Palaeoloxodon namadicus sinhaleyus (පැලියොලොක්සොඩොන් නැමඩිකස් සිංහලෙයස්) යනුවෙනි. මීට වසර 250,000ත් 125,000ත් අතර අතීතයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගයක් පැවති බව භූ විද්‍යාත්මක සාක්ෂි සනාථ කරයි. මේ හරහා එදා සිටි අලි ඇතුන්, හිපපොටේමස්වරුන් සහ ආදි මානවයින් පවා නිදහසේ දෙරට අතර සංක්‍රමණය වී ඇති බව දැරණියගල මහතාගේ මතය විය.

මෙම සොයාගැනීම අදටත් විද්‍යාඥයන් අතර මතභේදාත්මක මාතෘකාවකි. ලෝකයේ විසූ විශාලතම අලියා මෙරට සිටි බවට ඇති එකම සාක්ෂිය හමුවූ දත් කැබලි කිහිපයක් පමණක් වීම ඊට හේතුවය. ප්‍රකට ඕලන්ද ජාතික පාෂාණධාතු විද්‍යාඥ ඩී.ඒ. හූයර් පෙන්වා දෙන්නේ, වඩාත් නිවැරදි නිගමනයකට එළඹීමට නම් සම්පූර්ණ අස්ථි පද්ධතියක් සොයාගත යුතු බවයි. හමුවී ඇති දත් කැබලි මත පදනම්ව පමණක් මෙය නව විශේෂයක් ලෙස තහවුරු කිරීම අපහසු බව ඔහුගේ තර්කය වී ඇත.

මෙම කතාවේ ඇති තවත් එක් රසවත් කරුණක් නම්, ඇතැම් විද්‍යාඥයන් පවසන පරිදි, යම් හෙයකින් මෙම යෝධයා ශ්‍රී ලංකාවේ හුදෙකලා වූයේ නම් ‘දූපත් වාමනභාවය’ (Island Dwarfism) නැමති ජෛව විද්‍යාත්මක සංසිද්ධිය නිසා කාලයත් සමඟ ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය ප්‍රධාන ගොඩබිමේ සිටි පිරිසට වඩා තරමක් කුඩා වන්නට ඇති බවය. අදටත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති දැරණියගල මහතාගේ අත් අකුරින් ලියැවුණු The Pleistocene of Ceylon ග්‍රන්ථය සහ එම ෆොසිල කොටස්, අපේ පොළොව යට සැඟව ඇති මෙම අතීත අභිරහස ගැන නිහඬව සාක්ෂි දරයි.

පී.ඊ.පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සතුන් පිළිබඳ කළ ගවේෂණවලදී පැරාවන් (පොසිල) පිළිබඳව සොයාගත් තොරතුරු අතිශය වැදගත් වේ. කූරගල, බෙලිලෙන වැනි ස්ථානවලින් හමු වූ මානව පොසිල සහ අවශේෂ පරීක්ෂා කරමින්, ලංකාවේ ආදි මානවයා වන බැලංගොඩ මානවයා වසර දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූ බව විද්‍යාත්මකව තහවුරු කළේ ද දැරණියගල මහතාය. පොසිල අධ්‍යයනය කිරීමේදී ඉතා සියුම් ක්‍රමවේද අනුගමනය කළේය. පොසිලවල රූප සටහන් සහ මිනුම් ලබාගෙන ඒවා ඉන්දියාවේ සහ අනෙකුත් ආසියානු රටවලින් හමුවන පොසිල සමඟ සංසන්දනය කර ලංකාවට ආවේණික ලක්ෂණ පෙන්වා දීමට දැරණියගල සමත් විය.

යම් සත්ත්ව විශේෂයක් ප්‍රධාන ගොඩබිමෙන් වෙන් වී දූපතක් වැනි හුදකලා වූ කුඩා භූමියකට කොටු වූ විට, පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණය ක්‍රමයෙන් කුඩා වීම මෙම සංසිද්ධියයි. මෙය සොබාදහම විසින් එම සතුන්ව සීමිත සම්පත් ඇති පරිසරයකට හැඩගැස්වීමේ ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් විශාල සිරුරක් පවත්වා ගැනීමට වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, දූපතක ආහාර සීමිත බැවින් කුඩා සිරුරක් ඇති සතුන්ට ජීවත් වීමට සහ වර්ගයා බෝ කිරීමට වැඩි අවස්ථාවක් හිමි වේ.

මෙහි ප්‍රධානතම හේතුව වන්නේ ආහාර හිඟකමයි. දූපතක සම්පත් සීමිත නිසා අඩු ශක්තියකින් ජීවත් විය හැකි කුඩා සතුන් ස්වභාවික වරණය හරහා ඉතිරි වේ. එසේම, දූපත්වල බොහෝ විට කොටි, සිංහයන් වැනි දරුණු විලෝපිකයන් අඩුය. ආරක්ෂාව සඳහා විශාල සිරුරක් හෝ වේගයක් අවශ්‍ය නොවන විට, අනවශ්‍ය ලෙස ශරීරය වර්ධනය කිරීමට වැය වන ශක්තිය ඉතිරි කර ගැනීමට පරිණාමය ඉඩ සලසයි. කාලයත් සමඟ මෙම ජානමය වෙනස්කම් ස්ථාවර වී එම සත්ත්ව විශේෂය කුඩා විශේෂයක් බවට පත් වේ.

මෙයට හොඳම උදාහරණයක් වන්නේ මධ්‍යධරණී දූපත්වල අතීතයේ විසූ පිග්මි අලි (Pygmy Elephants) ය. ඔවුන් සාමාන්‍ය අලියෙකුට වඩා බෙහෙවින් කුඩා වූ අතර ඇතැම් විශේෂ මීටරයකට වඩා උස නොවීය. එසේම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතෙන් හමු වූ හෝමෝ ෆ්ලෝරස් (Homo floresiensis) හෙවත් හොබිට් මානවයා ද මීට කදිම නිදසුනකි. මීට අමතරව රුසියාවේ රැන්ගල් දූපතේ විසූ කුඩා මැමත් සතුන් ද මෙම සංසිද්ධියට සාක්ෂි සපයයි.

දූපත් වාමනභාවය ට මීට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ද දූපත්වල දැකිය හැකිය. එය, දූපත් යෝධභාවය (Island Gigantism) නමින් හැඳින්වේ. ගොඩබිම වෙසෙන කුඩා සතුන් (උදාහරණ: මීයන්, කැස්බෑවුන්) දූපත්වලට පැමිණි පසු එහි විලෝපිකයන් නොමැති වීම නිසා ඉතා විශාල ලෙස වර්ධනය වේ. ගලාපගස් දූපත්වල වෙසෙන යෝධ කැස්බෑවුන් සහ අතීතයේ මොරිෂස් දූපතේ විසූ ඩෝඩෝ පක්ෂියා මෙයට උදාහරණ වේ. ඩෝඩෝ පක්ෂියා ද පියාසර කිරීමට අවශ්‍යතාවක් නැති හුදකලා පරිසරයකදී විශාල සිරුරක් සහිතව පරිණාමය වූවෙකි.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS