ඇමෙරිකාව සහ යුද්ධ



ඇමෙරිකාව ඉරානයට එරෙහිව ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම ආරම්භ කළේ පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායලය ද හවුල් කර ගනිමිනි. ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කොන්දේසි 15 ක් ද ඉදිරිපත් කරමිණි. ඉරානයේ ඉහළ නායකත්වය සමග (බොහෝ විට ඉරාන කතානායකවරයා) තම කණ්ඩායම සාකච්ඡා පවත්වන බවත්, කඩිනමින් යුද්ධය අවසන් කළ හැකි බවත් ට්‍රම්ප් පවසා ඇති අතර, ඉරාන උත්තරීතර පාලනය එය ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකා ඉරාන සාකච්ඡා සඳහා සාම නියෝජිතයකු ලෙස පාකිස්තානය තෝරා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත්තේ පාකිස්තානය ඇමෙරිකාව සමග මෙන්ම ඉරානය සමග ද යහපත් සබදතා පවත්වන බැවිනි. කෙසේ නමුත් ඉරානය ඊට කැමැත්තක් නොදක්වන බව පෙනී යන්නේ හෝමූස් හරහා යෑමට ආ පාකිස්තාන නැව් දෙකක් ආපහු හැරවීමට ඉරාන විප්ලවීය හමුදාව කටයුතු කළ බැවිනි.

ඉරානය සමග සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉරානයට එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමටත්, ඉරානයට ගොඩබිම් හමුදා යැවීමටත් ට්‍රම්ප් සූදානම් වෙයි. ‘ඇමෙරිකා හමුදා එනකල් අප බලා සිටිනවා’ යැයි ඉරානය ඊට ප්‍රතිචාර දක්වා ඇත. මේ අතර, ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු, මැදපෙරදිග කලාපයට සිදුකරන විශාලතම හමුදා බලමුලුගැන්වීම මේ වන විට ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකානු මධ්‍යම බලකායට (CENTCOM) අනුව, ඇමෙරිකන් හමුදා මේ දක්වා ඉරානයේ, ඉලක්ක 9,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇත. හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිවස, විප්ලවීය ආරක්ෂක බලකා මූලස්ථාන ගොඩනැගිලි, බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථාන මෙන්ම නාවික මර්මස්ථාන ඒ අතර වේ. ඇමෙරිකන් බලධාරීන් පවසන ආකාරයට, ඉරාන නෞකා 140කට අධික සංඛ්‍යාවක් විනාශ කර හෝ අකර්මණ්‍ය කර ඇත. මෙයට ප්‍රතිචාර ලෙස ඉරානය ද දිනපතා ඊශ්‍රායලයට සහ කලාපීය අසල්වැසි ගල්ෆ් රටවල ඇති ඇමෙරිකන් කඳවුරුවලට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ලෝක තෙල් වෙළඳාමෙන් සියයට 20 ක් සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කර තිබේ. හෝමූස් හරහා යන්නත් එන්නත් අවසර ලැබෙන්නේ ඉරානයේ මිත්‍ර රටවලට පමණි.

මෙම උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකන් යුද ශක්තිය තවදුරටත් දැඩි කරමින් පෙන්ටගනය (ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව) විසින් ඇමරිකානු යුද හමුදාවේ 82 වැනි ගුවන් හමුදා අංශයේ සෙබළුන් 2,000 කට ආසන්න පිරිසකට කලාපය වෙත යාමට නියෝග කරනු ලැබ ඇත. ඊට අමතරව පැසිෆික් කලාපයේ සිට නාවික බලකා දෙකක් ද කලාපයට ළඟා වෙමින් ද සිටී. යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහන නෞකාව, දැනටමත් සටන් කලාපයේ රැඳී සිටින අතර, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ අවශ්‍ය ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීම සඳහා මෙම හමුදා ශක්තිමත් කිරීම් සිදු කරන බවය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ, ඉරානයේ පවතින න්‍යෂ්ටික ද්‍රව්‍යවල ආරක්ෂාව තහවුරු කිරීමට ඇමෙරිකාවට භෞතිකව මැදිහත් වීමට සිදුවනු ඇති බවය. ගොඩබිම් ආක්‍රමණයකට මෙතෙක් නිල අවසරයක් ලැබී නොමැති වුව ද, අති දක්ෂ, ඕනෑම දේකට ඔට්ටු පැරෂුට් භටයන් සහ මැරීන් බලඇණි කලාපයට එක්රැස් වීම මඟින් ඇමරිකාව දැවැන්ත යුදමය ‘විකල්පයකට’ සූදානම් වන බව පැහැදිලිය.

මැදපෙරදිග කලාපයේ උණුසුම් වෙමින් පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ, සිය යුද ශක්තිය තහවුරු කිරීම සඳහා ඇමෙරිකාව අතිරේක සේනාංක තුනක් ද ගල්ෆ් කලාපය වෙත යොමු කර තිබේ. ගොඩබිම් සටන් ඇවිළී ගියහොත් සෘජුවම මැදිහත් වීමේ අරමුණින් පිටත් කර ඇති මෙම බලකායන්, නාවික සහ ගුවන් හමුදා යන අංශ දෙකෙන්ම සන්නද්ධ වී සිටින බව වොෂින්ටනය පවසයි.

යුද ගැටුම්

මේ වනවිට ලෝකය ලෝක යුද්ධ දෙකකට මුහුණ දී ඇත. ඇමෙරිකාව වෙනමම යුද ගැටුම් කීපයකට මැදි වී ඇත. මානව ඉතිහාසයේ අඳුරුතම පිටු අතරින්, පළමු ලෝක යුද්ධය (1914-1918) සුවිශේෂී වන්නේ, එය මුළු මහත් ලෝකයම දේශපාලනිකව, සමාජීය වශයෙන් සහ භූගෝලීය වශයෙන් මුළුමනින්ම වෙනස් කළ බැවිනි. මිලියන ගණනකගේ ජීවිත බිලිගත් මෙම මහා සංග්‍රාමය හුදෙක් සටන් බිමකට පමණක් සීමා නොවූ, දශක ගණනාවක් තිස්සේ යුරෝපය තුළ රත් වෙමින් පැවති වෛරයේ සහ බල අරගලයේ නිරුවත් ප්‍රකාශනයක් විය. මෙම යුද්ධයේ ආරම්භය සඳහා ක්ෂණික හේතුවක් ලෙස සැලකෙන්නේ 1914 ජූනි 28 වන දින සර්බියාවේ සරජේවෝ නුවරදී ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යයේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමරු ඝාතනයට ලක්වීමය.

සර්බියා ජාතිකවාදියකු වූ ගව්රිලෝ ප්‍රින්සිප් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරය, යුරෝපය පුරා අතුපතර විහිදී තිබූ රහසිගත මිත්‍ර ගිවිසුම් දාමයක් එකවර ක්‍රියාත්මක කිරීමට සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ දින කිහිපයක් තුළ ලෝක බලවතුන් එකිනෙකා සමඟ යුද්ධ ප්‍රකාශ කරගැනීමය. කෙසේ වෙතත්, මෙම ඝාතනය හුදෙක් ගිනි පුපුරක් පමණි. යුද්ධය සඳහා සැබෑ පදනම සකස් වී තිබුණේ ‘මේයින්’ MAIN ලෙසින් හැඳින්වෙන සාධක හතරක් මතය. එකිනෙක අභිබවා යාමට හමුදා ශක්තිය තර කරගත් මිලිටරිවාදය (Militarism), රටවල් කණ්ඩායම් දෙකකට බෙදා වෙන් කළ මිත්‍ර සන්ධාන (Alliances), ලෝක සම්පත් කොල්ලකෑමට තිබූ අධිරාජ්‍යවාදී (Imperialism) උමතුව සහ තමන්ගේ ජාතිය උත්තරීතර යැයි සිතූ ජාතිකවාදී (Nationalism) උන්මාදය විසින් යුරෝපය සැබෑ බරබාගයක තත්ත්වයකට පත් කර තිබුණි.

 

1918 නොවැම්බර් 11 වන දින සටන් විරාමයක් අත්සන් කිරීමෙන් මෙම ලේ වැගිරෙන සංග්‍රාමය නිමාවට පත් වූවද, එය අවසන් වූයේ බිඳ වැටුණු අධිරාජ්‍ය හතරක සහ බිහි වූ නව ජාතීන් රාශියක උරුමය ද සමඟිනි. 1919 වර්සායි ගිවිසුම මගින් ජර්මනිය මත පටවන ලද දැඩි කොන්දේසි, ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය අනුව, දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය අඩිතාලම ද නොදැනුවත්වම සකස් විය

දෙවන ලෝක යුද්ධයේ මූලාරම්භය සනිටුහන් වූයේ 1939 සැප්තැම්බර් 1 වැනිදා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟය. පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියට පැනවූ වර්සයිල්ස් ගිවිසුමේ කොන්දේසි නිසා ඇති වූ ජාතික අභිමානය සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී දේශපාලන න්‍යාය පත්‍රය ලෝකය මහා යුද්ධයකට ඇද දැමීමට හේතු විය. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය පෝලන්තය වෙනුවෙන් පෙනී සිටිමින් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම, ගැටුම ගෝලීය තලයකට ගෙන ගියේය. යුද්ධය යුරෝපයේ සිට සෝවියට් දේශය, අප්‍රිකාව සහ ආසියාව හරහා පැසිෆික් සාගරය දක්වා පැතිර ගියේය. ජර්මනිය සිය බිහිසුණු යුද උපාය මගින් කෙටි කලකින් ප්‍රංශය දණ ගැස්සවීය.

1941 දී ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමණය කිරීම යුද්ධයේ විශාලතම උපායමාර්ගික දෝෂය බවට පත්විය. ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ජර්මානු හමුදාව ලද පරාජය මිත්‍ර පක්ෂයට යුද්ධයේ වාසිය ලබා දුන්නේය.1941 දෙසැම්බරයේ ජපානය විසින් ඇමෙරිකාවේ හවායි පිහිටි පර්ල් වරායට පහර දීමත් සමඟ, ඇමෙරිකාව ජපානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කළේය. 1945 අප්‍රේල් මාසයේ හිට්ලර්ගේ මරණයත් සමඟ ජර්මනිය යටත් වූ අතර, පැසිෆික් කලාපයේ යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව විසින් හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත පරමාණු බෝම්බ හෙලීම සිදුවිය. 1945 සැප්තැම්බර් 2 වැනිදා ජපානය නිල වශයෙන් අත්සන් තැබූ යටත් වීමේ ලේඛනය සමඟ, මානව ඉතිහාසයේ විනාශකාරීම යුද්ධය ලෙස ද සැලකෙන දෙවැනි ලෝක යුද්ධය  නිමාවට පත් විය.

මෙම යුද්ධයෙන් මිලියන 70කට අධික ජනතාවක් මිය ගිය අතර, ලෝකය දැවැන්ත ආර්ථික සහ දේශපාලනික වෙනස්කම්වලට ලක් විය. යුද්ධයේ අවසානයත් සමඟ යුරෝපීය අධිරාජ්‍යවාදය බිඳ වැටීම ඇරඹිණි. එමෙන්ම, අනාගත ලෝකයේ ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කෙරිණි. දෙවන ලෝක යුද්ධය අපට ඉතිරි කර ඇති ප්‍රධානම පාඩම වන්නේ, යුද්ධයකින් කිසිවෙකු ජයග්‍රාහකයන් නොවන්නා සේම, එයින් සිදුවන හානිය පරම්පරා ගණනාවකට බලපාන බවයි.

වියට්නාම යුද්ධය (1955 – 1975)

ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර පැවති ‘නිරවි යුද්ධයේ’ උච්චතම අවස්ථාව ලෙස ‘වියට්නාම යුද්ධය’ හැඳින්විය හැක. කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාමය සහ ඇමෙරිකානු සහාය ලබන දකුණු වියට්නාමය අතර ඇති වූ මෙම ගැටුම දශක දෙකක් පුරා ඇදී ගියේය. ගරිල්ලා සටන් ක්‍රම හමුවේ ලොව බලවත්ම හමුදාව ලෙස සැලකෙන ඇමෙරිකානු හමුදාවන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වූ අතර, අවසානයේ,1975 දී උතුරු වියට්නාමය ජයග්‍රහණය කළේය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ දැවැන්ත දේශපාලනික සහ සමාජීය පසුබෑමක් ලෙස අදටත් සැලකෙයි.

 ගල්ෆ් යුද්ධය (1990 - 1991)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ඇතිව, ඉරාකය විසින් සිය අසල්වැසි කුඩා රාජ්‍යයක් වන කුවේටය ආක්‍රමණය කිරීමට ආරම්භ කළ යුද්ධය මෙයයි. ඇමෙරිකාව සහ බහුජාතික හමුදා ඉරාකයට සහාය දක්වමින් ඊට සම්බන්ධ විය. මෙය ගල්ෆ් යුද්ධයයි. ‘ඩෙසර්ට් ස්ටෝම්’ ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වුණු මෙම යුද්ධය මාස කිහිපයක් වැනි කෙටි කාලයකින් නිමාවට පත් වූයේ ඉරාක හමුදා කුවේටයෙන් පලවා හරිමිනි. නවීන තාක්ෂණය, මිසයිල පද්ධති සහ සජීවී රූපවාහිනී විකාශන ඔස්සේ ලෝකයම නැරඹූ පළමු ‘අධි-තාක්ෂණික’ යුද්ධය ලෙස මෙම යුද්ධය ඉතිහාසයට එක් වී ඇත.

ඉරාක යුද්ධය (2003 - 2011)

ඉරාකය සතුව, සමූලඝාතක අවි ඇති බවට චෝදනා නගමින් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සමඟ එක් වී, 2003 දී ඉරාකය ආක්‍රමණය කළේය. තවත් ඇමරිකාවේ මිත්‍ර පාර්ශ්වීය රටවල් ද මෙම යුද්ධයට සම්බන්ධ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටුණු අතර පසුව ඔහු මරණ දණ්ඩනයට නියම විය. සදාම් හුසේන් එල්ලා මරා දැමුණි. මෙම යුද්ධයෙන් සු ඉරාකය තුළ ඇති වූ අස්ථාවරත්වය, නිකායවාදී ගැටුම් සහ අයි.එස්.අයි.එස්. වැනි අන්තවාදී කණ්ඩායම් බිහිවීමට මෙය පාර කැපුණි. අවසානයේ 2011 දී ඇමෙරිකානු හමුදා නිල වශයෙන් ඉරාකයෙන් ඉවත් විය. එසේ වුවත් අදත් ඇමෙරිකන් කඳවුරු ඉරාකයේය.

ඇෆ්ගන් යුද්ධය (2001 - 2021)

2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස අල්-කයිඩා සංවිධානය සහ ඔවුන්ට රැකවරණය දුන් ඇෆ්ගන් තලේබාන් පාලනය මුලිනුපුටා දැමිමේ අරමුණින් ඇෆ්ගන් යුද්ධය ආරම්භ විය. වසර 20ක් පුරා ඇදී ගිය මෙම ගැටුම ඇමෙරිකා ඉතිහාසයේ දීර්ඝතම යුද්ධයයි. බිලියන ගණනක ධනය සහ දහස් ගණනක ජීවිත කැප කිරීමෙන් පසු 2021 දී ඇමෙරිකන් හමුදා ඉවත් වීමත් සමඟ, නැවතත් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක් වූ සිදුවීමක් විය. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පවතින්නේ තලේබාන් රජයකි.

තෙවැනි ලෝක යුද්ධය

ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක් පවතී. ​යුද්ධය ආරම්භ වනවිටත් ලෝකය දෙකඩ බෙදී තිබුණි. ඒ බටහිර බල කඳවුර සහ නැගෙනහිර බල කඳවුර ආදී වශයෙනි. ඇමෙරිකාව සහ බටහිර රටවල් බටහිර බල කඳවුරය. රුසියාව සහ චීනය ඇතුළු ඒවාට හිතවත් රටවල් නැගෙනහිර බල කඳවුරය. ඇමෙරිකාවේත් සෙසු බටහිර රටවලත් සම්බාධකවලට සහ කෙණෙහිලිකම්වලට ලක්වුණු රටවල් බොහොමයක් රුසියාව සහ චීනය අයිති කඳවුරේ සිටී. වත්මන් අර්බුදයේ දී, රුසියාවත් චීනයත් ඉරානයට සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කරයි. රහසේ බුද්ධි තොරතුරු පවා ලබා දෙයි. ​

බල කඳවුරු දෙකටම අයිති රටවල න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි ඇති රටවල් සිටී. උතුරු කොරියාව සිටින්නේ චීනය සහ රුසියාව සමඟය. ඊශ්‍රායලයේ ඇති න්‍යෂ්ටික අවි ගැන ලෝකය දන්නේ ද නැත. කුමක් හෝ එක් සුළු ක්‍රියාවකින්, ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන අර්බුදය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග ගියහොත්, එය ලෝකයේ අවසානයයි. ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය හෝ ඉරානයට න්‍යෂ්ටික අවියකින් පහර දුන්නොත්, එය මැදපෙරදිග අවසානය පමණක් නොව, මුළු ලෝකයේම අවසානයයි. ජපානයේ හිරෝෂීමා සහ නාගසාකී යන නගරවලට ඇමෙරිකාව එල්ල කළ පරමාණු බෝම්බවලින් සිදුවුණු විනාශය අදටත් දෝංකාර දෙයි. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දිනක්, මාධ්‍යවේදියකු අයින්ස්ටයින්ගෙන් තෙවැනි ලෝක යුද්ධය කුමක්වේවිදැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින්, අයින්ස්ටයින් මෙසේ පැවැසීය. ‘තෙවැනි ලෝක යුද්ධයේදී සටන් කරන්නේ මොන වගේ ආයුධ වලින්දැයි මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒත් සිව්වැනි ලෝක යුද්ධයේදී සටන් කරන්නේ පොලු සහ ගල්වලින්. ඒක පැහැදිලියි’

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS