ට්‍රම්ප් පිස්සෙක්



ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ඇමෙරිකානු දේශපාලන කරළිය උණුසුම් වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ට්‍රම්ප් ලබා දී ඇති කාලසීමාවට ඉරානය එකඟ නොවන්නේ නම් එම රට විනාශ කරන බවට ඔහු කළ තර්ජනය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් ෂූමර් පවසා ඇත්තේ ට්‍රම්ප් අතිශය දරුණු මොළයේ අමාරුවකින් පසුවන බවය. චක් ෂූමර් වැඩි දුරටත් පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ නීතිවිරෝධී අසාධාරණ යුද්ධයට සහාය දක්වන ඔහුගේ රිපබ්ලිකන්වරුන් සියලු දෙනා ඉදිරියේ දී ඇතිවන ඵලවිපාකවලට වගකිවයුතු බවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්රිස් පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ උමතුව තෙවැනි ලෝක යුද්ධයට මඟ පාදනු ඇති බවය. පක්ෂ දේශපාලනයට වඩා දේශප්‍රේමී යුතුකමට මුල්තැන දෙමින් මෙම උමතුව නැවැත්වීමට එක්වන ලෙස ඔහු ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇත.

කොංග්‍රස් සභික ජේසන් ක්‍රෝ පවසා ඇත්තේ සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ කරන්න හදන ට්‍රම්ප් යුද අපරාධකරුවකු බව පැහැදිලියි කියාය. ඇමෙරිකානු හමුදාව පිළිපැදිය යුත්තේ නීත්‍යානුකූල නියෝග පමණක් බවත්, හෘද සාක්ෂියක් ඇති සෑම අමෙරිකානුවකුම ට්‍රම්ප්ගේ මෙම දරුණු ප්‍රකාශය හෙළා දැකිය යුතු බවත් ක්‍රෝ වැඩිදුරටත් පවසා ඇත.

කොන්ග්‍රස් සභික ජිම් මැක්ගවර්න් පෙන්වා දී ඇත්තේ නපුරා ඉරානය නොව ට්‍රම්ප් බවය. ඇමෙරිකා ජනාධිපතිවරයකු විසින් ජන සංහාරක තර්ජනයක් එල්ල කිරීම ඇමෙරිකානු ෆෙඩරල් නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියද උල්ලංඝනය කිරීමක් බව ද ජිම් මැක්ගවර්න් අවධාරණය කර ඇත.


RECOMMEND POSTS