සිරියාවේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්



සිරියාවේ හොම්ස් පළාතේ ඉමාම් අලි බින් අබි තාලිබ් මුස්ලිම් පල්ලියේ බෝම්බයක් පුපුරා ගියේය. එය අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පැවැසෙයි. ප්‍රහාරයෙන් පස් දෙනෙක් මියගොස්, 21 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.

බෝම්බය පල්ලිය තුළ අටවා තිබුණු බවත්, පසුව එය පුපුරුවා හැරිය බවත් සිරියානු ආරක්ෂක අංශ පැහැදිලි කරයි. දේව මෙහෙයට ආ බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝම්බය පුපුරුවා හැරීම සිදුවුණු බව ද පැවැසෙයි. මෙම මුස්ලිම් පල්ලිය අයත් වන්නේ ඇලවිට් සුළුතර නිකායටය. බලයෙන් නෙරපා දැමුණු සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද් අයත් වන්නේ ද මෙම ෂියා මුස්ලිම්වරුන්ගෙන් සැදුම්ලත් මෙම නිකායටය.

අල්-අසාද් පාලනය අවසන් වී, සුන්නි මුස්ලිම් බහුතරයක් සහිත රජයක් බලයට පත්වීමෙන් පසු සිරියාව තුළ නිකායවාදී ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක්ම වාර්තා වී ඇත.

මේ වනවිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හිස ඔසවා ඇති බවත්, පසුගිය දා අයි.එස්. සාමාජිකයකු එල්ල කළ ප්‍රහාරයකින් ඇමෙරිකන් සොල්දාදුවන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයකු මියගිය බවත් වාර්තා විය. එම ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව, සිරියාවේ අයි.එස්. ඉලක්කවලට පහර දීම ආරම්භ කර ඇත.


RECOMMEND POSTS